වයිරසය ලොව පුරා පැතිරීමේ බියක්



සාර්ස් වයිරසයට සමාන, චීනයේ පැතිරෙන නව වයිරසය, මනුෂ්‍යයන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ වන බවත්, එය ලොව පුරා පැතිර යෑමේ අවදානමක් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කරයි.

ඊයේ (20) වනවිට නව වයිරසය ආසානය වුණු සිවුවැන්නා ද මියගියේය. මියගියේ 89 හැවිරිදි මහල්ලෙකි. ඒ නිව්මෝනියා ආසාදන තත්ත්වයක් හේතුවෙනි.

වයිරසය ආසාදනය වී මියගිය සෙසු පිරිස ද නවස අවුරුදු 70 වැඩි යැයි චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත. වයිරසය මනුෂ්‍යයන් අතරේ බෝ වෙනවා යැයි චීන සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කර ගනු ලැබුවේ පෙරේදා (19) ය.

මෙම නව වයිසරය කොරෝනා වයිරසයක් බව ද මේ වනවිට තහවුරුවී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට කොරොනා වයිරස වර්ග රැසකි. කෙසේ නමුත් මනුෂ්‍යයන්ට බෝ වන්නේ එයින් වයිරස වර්ග 6 ක් පමණි. නව වයිරසය හමුවීමත් සමඟ එම වයිරස ගණන 7 තෙක් ඉහළ ගොස් තිබේ.

වයිරසය පැතිරීම ආරම්භ වූයේ මීට සති කීපයකට පෙර චීනයේ වූහාන් නගරයෙනි. වයිරසය මේ වනවිට චීනයේ නගර රැසක් පුරා පැතිර යමින් පවතින බවත් 200 කට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වී ඇති බවත් වාර්තා වේ. පෙරේදා (19) වනවිට වයිරසය ආසාදනය වූ පස් දෙනකු සම්පූර්ණ සුවය ලබා පිටවී ගියේ යැයි වූහාන් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ඉකුත් සතියේ, ජපානයේ තරුණයකු මෙම නව වයිරසය ආසාදනය වී රෝහල් ගත කළ බව ජපන් සෞඛ්‍ය අමත්‍යාංශය පැවැසීය. එම තරුණයා චීනයේ වූහාන් නුවර සංචාරයකට ගොස් යළි පැමිණි අයෙකු යැයි තහවුරු විය. තායිලන්තයෙන් ද නව වයිරසය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු හමුවී ඇතැයි වාර්තා විය.

වයිරසය මනුෂ්‍යයන් අතරේ බෝ වෙනවා යැයි තහවුරු වීමත් සමඟ එය ලොව පුරා පැතිරීම වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දන්වා ඇත. චීනයේ සංචාරය කිරීමේදී කල්පනාකාරී වන්නැයි ද සෙසු රටවැසියන්ට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

බීජීංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS