වජ්පායි අද අවසන් ගමන් යයි



අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව  අද (17) සවස සිදුකිරීමට නියමිතය

93 හැවිරිදි වියෙහි පසුවුණු අතල් බිහාරි වජ්පායි අභාවප්‍රාප්ත වූයේ ඊයේ (16) පස්වරුවේය. පසුගිය සති කිහිපය පුරාවට වජ්පායි නවදිල්ලියේ ඒ.අයි.අයි.එම්.එස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ. හිටපු අගමැතිවරයා 2009 වසරේ සිට රෝගාබාධ රැසකින් පීඩා විඳි බව ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය ක්‍රිෂ්ණා මෙනොන් මාර්ග් බංගලාවේ තැම්පත් කර තැබුණි. දස දහස් ගණනින් පෝළිමේ පැමිණ දේහයට අවසන් ගෞරව දක්වන්න වූහ. ඒ අතරේ, දේශපාලනඥයන් සහ නළු නිළියෝ ද සිටියහ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දේහයට අවසන් ගෞරව දැක්වීය. යුගයක අවසානය සනිටුහන් කළ වජ්පායි සැබෑ ජනතා නායකයකු යැයි අගමැති මෝදි සොව පළ කරමින් කියා සිටියේය. වජ්පායි ඉන්දීය අගමැතිවරයකු පමණක් නොව, මාධ්‍යවේදියෙකි. කවියෙකි. 

අගමැති මෝදි වැඩි දුරටත් කියා සිටියේ වජ්පායි සැබෑ ඉන්දීය පුත්‍රයකු බවත් ඔහුගේ අඩුව ජාතියට දැරිය නොහැකි  පාඩුවක් බවත්ය.

ඉන්දීය සිනමා තරු අමිතා භච්චන්, ෂාරුක් ඛාන්, රජිනි කාන්ත් පමණක් නොව ප්‍රියංකා චොප්රා ඇතුළු බොලිවුඞ් නළු නිළියෝ ද අගමැතිවරයාගේ අභාවය සම්බන්ධයෙන් ටිවිටර් පණිවුඩ හරහා සොව පළ කළහ.

ෂාරුක් ඛාන් සොව පළ කරමින් පවසා ඇත්තේ තමන් තම පියා සමඟ නවදිල්ලිට යන අවස්ථාවලදී අගමැති වජ්පායිගේ දේශන ඇසීමට යන බවය. ෂාරුක්, අභාවප්‍රාප්ත අගමැතිවරයා ‘දේශයේ පියා’ යනුවෙන් හඳුන්වා දී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍යධුරයට පත්වූ ප්‍රථම භාරතීය ජනතා පක්ෂ නායකයා වන්නේ වජ්පායි ය. එපමණක් නොව, වසර පහක් අග්‍රාමාත්‍ය ධුර කාලය අවසන් කළ පළමු කොංග්‍රස් පක්ෂ නොවන නායකයා ද වජ්පායි ය.

1924 වසරේ දෙසැම්බර් 25 වැනිදා ග්වලියෝර් හිදී උපත ලැබූ වජ්පායි අවස්ථා දහයකදී ප්‍රාන්ත හතරකින් ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක සභාවට තේරී පත්වූයේය.

1957 දී උත්තර ප්‍රදේශයේ බාල්රාම්පූර් ආසනයට තරග කරමින් ඔහු පළමු වරට ලෝක සභාවට තේරී පත්වූයේය. ඔහු දෙවරක් ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාවේ කටයුතු කළේය.

භාරතීය ජන සාන්ග් හෙවත් ජාන් සාන්ග් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ අතල් බිහාරි වජ්පායි 1968 දී එහි සභාපති ධුරයට පත්වූයේය.

අතල් බිහාරි වජ්පායි අවස්ථා තුනකදී ඉන්දියාවේ අග්‍රාමාත්‍යධුරයට පත්විය. පළමු වරට 1996 වසරේදී අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අතල් බිහාරි වජ්පායි 1998 සිට 1999 දක්වාත් 1999 සිට 2004 දක්වාත් අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.  

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS