ලෝක සෞඛ්‍ය සංවිධානයට දොස්



‘කොවිඞ් 19’ වයිරස වසංගතය හමුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට වාසි වන අයුරින්, චීනයේ පැත්ත ගෙන කටයුතු කරනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම ක්‍රියා කලාපය කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන මූල්‍ය ආධාර නැවැත්වීමට තමන් පියවර ගන්නා බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන මුදල් ඇමෙරිකානුවන්ගේ හිතසුව පිණිස සහ ඇමෙරිකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නගාසිටුවීම සම්බන්ධයෙන් යොදවන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා ඇත.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. අද එය ලොව පුරා ව්‍යාප්තවී ඇත. චීනයෙන් පිට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. වයිරසය හේතුවෙන් ඇමෙරිකාවේ දෛනික කටයුතු සියල්ල අඩපණ වී ඇති බවත් ආර්ථිකය කඩා වැටී ඇති බවත් වාර්තා වේ.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ‘කොවිඞ් 19’ වයිරසය හඳුන්වා දෙන්නේ ‘චීනයෙන් ආ වයිරසය’ යනුවෙනි. මෙය බොහෝදෙනාගේ දෝෂදර්ශණයට හේතුවක් වී ඇත.

වයිරසය ලොව පුරා පැතිරීමට ඉඩ හැරියේ චීනය යැයි චීනය ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතු බවත් ට්‍රම්ප් චෝදනා කර තිබේ. වයිරසය චීනයේ ව්‍යාප්ත වෙද්දී පමණක් නොව, එය පළමුවෙන් දකුණු කොරියාව, ජපානය ඇතුළු ආසියානු රටවල ව්‍යාප්ත වෙද්දී පවා එය ගෝලීය වසංගත තත්ත්වයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ නොකළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය වයිරසය, ගෝලීය වසංගතයක් යැයි තීරණය කළේ එය පාලනය කරගත නොහැකි අයුරින් ලොව පුරා ව්‍යාප්ත වෙද්දීය.
කෙසේ නමුත් ඇමෙරිකන් වෛද්‍යවරුන් සහ යුරෝපා වෛද්‍යවරුන්

වයිරසය ගෝලීය වසංගතයක් බවට පත්වේවි යැයි කල්තියා අනාවැකි පළ කර තිබුණත්, ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළේ චීන වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව යැයි ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දී තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS