ලෝක නායකයෝ යන්නේ වැරදි පාරේ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව, ලෝක නායකයන් නිවැරදි තීන්දු නොගතහොත්, වයිරසයේ බලපෑම තවත් දරුණු වේවි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඞ්නොම් ගෙබි්‍රයේසිස් මෙසේ අනතුරු ඇඟවූයේ ‘කොවිඞ් 19’ වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය ඇත්තේ ජිනීවා නුවරය.

‘කොවිඞ් 19’ වසංගතය සම්බන්ධයෙන් මේ වනවිට රටවල් බොහොමයක් වැරැදි මාර්ගයක ගමන් කරනවා’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.

වැරැදි මාර්ගයේ ගමන් කරන නායකයන් අතර කැපී පෙනෙන නායකයන් දෙදෙනකු වන්නේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ බව මාධ්‍ය පෙන්වා දෙයි.

මොවුන් දෙදෙනාම ‘කොවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් කියා සිටියේ ‘එය නිකම්ම නිකම් හෙම්බිරිස්සාවක්’ බවය. ඇමෙරිකාවෙත් බ්‍රසීලයේත් වයිරසය ඔඩුදුවා ඇත්තේ ට්‍රම්ප්ගේත් බොල්සරානෝගේත් අදූරදර්ශී ක්‍රියා කලාපයන් නිසා යැයි චෝදනා එල්ල වී තිබේ.

අද වනවිට ‘කොවිඞ් 19’ ආසාදිතයන් සහ මරණ වැඩියෙන්ම වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන මිලියන 3.3 කි. මරණ 1,35,000 පසු කර ඇත.

බ්‍රසීලයෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 1,887,960 ක් වන අතර, මරණ වාර්තා වන්නේ 73,000 ක් ලෙසය. බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ ද ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

‘කොවිඞ් 19 වයිරසය දැන්ම ලොවෙන් තුරන් වන්නේ නැහැ. සමූහ ප්‍රතිශක්තියක් ඇති වේවි යැයි බලන් සිටියත් එවැන්නක් තවමත් දකින්න ලැබෙන්නේ නැහැ. වයිරසයට එරෙහි එන්නතක් නිපදවන්න තව වසරක්වත් ගතවේවි. එහෙයින් අපට සිදුවෙනවා වයිරසය සමඟ ජීවත් වෙන්න. අපේ දෛනික කටයුතු කරගෙන යන්න. එසේ කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපඳින නායකයන් ලොවට අවශ්‍යයි. තවමත් ලොව ප්‍රබල නායකයන්ට වයිරසයේ බිහිසුණුකම අවබෝධ වී නැහැ’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්වයන් සම්බන්ධ කළමනාකරු වෛද්‍ය මයික් රයන් මාධ්‍ය හමුවට එක් වෙමින් පැවැසුවේය.

මේ අතර, ‘කොවිඞ් 19’ වයිරස වසංගතය පාලනය කර ගැනීමට හැකි වුණු ලෝක නායිකාව වන්නේ නවසීලන්තයේ ජැසෙන්ඩා එර්ඩන්ය. නවසීලන්ත රජය සහ සෞඛ්‍ය අංශ කැපවීමෙන්, වයිරසය පාලනය කිරීමට පියවර ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසැසුමට හේතුවක් වී ඇත.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS