ලෝක නායකයෝ කම්පා වෙති



නොත්‍රදාම් දෙව්මැදුරේ හටගත් ගින්න පිළිබඳ දැනගන්න ලැබීමෙන් මහත් සේ කම්පනයට පත්වුණු බව වකිතානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ප්‍රංශ ගිනි නිවන දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමන් යාච්ඤා කරන බව ද වතිකානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් කියා සිටියේ ජර්මනියේ සහාය මෙම අවස්ථාවේදී ප්‍රංශ වැසියන්ට හිමිවන බවය. ජර්මන් චාන්සල්වරිය නොත්‍රදාම් දෙව්මැදුර ප්‍රංශයේ අනන්‍යතාව පමණක් නොව, යුරෝපයේ සංස්කෘතියේ අභිමානය ලෙස හඳුන්වා දුන්නාය.

බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සොව පළ කළාය. ගින්න නිවා දැමීමට වෙහෙසන ප‍්‍රංශ ගිනි නිවන භටයන්ට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි බි‍්‍රතාන්‍ය අගමැතිනිය ප‍්‍රාර්ථනා කළාය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද ට්විටර් ගිණුම ඔස්සේ, දෙව්මැදුරේ හටගත් ගින්න සම්බන්ධයෙන් අදහස් දැක්වීය. නොත්‍රදාම් දෙව්මැදුරේ ගින්න මාධ්‍ය හරහා සජීවීව විකාශය කෙරුණු අතර, එම දසුන් නරඹද්දී තමන්ට ලොකු සිත් වේදනාවක් දැනුණු බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ට්විටර් පණිවුඩයේ දක්වා ඇත.

ගින්න ඉක්මණින් නිවා දැමීමට වතුර ඉසින ගුවන් යානා හෝ හෙලිකොප්ටර් යානා භාවිතා නොකළේ ඇයිදැයි යන්න ට්විටර් පණිවුඩය හරහා ජනපති ට්‍රම්ප් විමසා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ගුවනින් ජලය ඉසීමක් නොකළේ ඉපැරැණි ගොඩනැගිල්ලක් වූ බැවින්, නොත්‍රදාම් දෙව්මැදුරට එයින් තවත් හානියක් සිදුවේවි යැයි බියක් හටගත් නිසා යැයි ජනපති ට්‍රම්ප්ට පිළිතුරු දෙමින් පැරිස් නුවර බලධාරීන් පමණක් නොව ප්‍රංශ සිවිල් සේවා අධිකාරියේ නිලධාරීහු ද පසුව පැවැසූහ.

පැරිස් නුවරදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS