ලොව ප්‍රධානතම කොරෝනා විකෘතිය ’ඩෙල්ටා’



'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘතිය, ඉදිරි මාස කීපය ඇතුළත ලොව ප්‍රධානතම කොරෝනා විකෘතිය බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

මේ වනවිටත් 'ඩෙල්ටා' විකෘතිය, රටවල් සහ පාලන ප්‍රදේශ 124 කට පැතිර ගොස් අවසන්ය. පසුගිය සතියේ පමණක් රටවල් සහ පාලන ප්‍රදේශ 36 කින් ඩෙල්ටා විකෘතිය හඳුනා ගැනුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ලෝකයේ රටවල් සහ පාලන ප්‍රදේශ ගණන 195 කි.
'ඩෙල්ටා' යනු පළමු වරට ඉන්දියාවෙන් හඳුනා ගත් 'කොවිඩ් 19' විකෘතියයි. 'ඩෙල්ටා' නිර්මාණය වී ඇත්තේ ඉන්දියාවෙන් හඳුනාගත් තවත් කොරෝනා විකෘති දෙකක් එක් වීමෙනි. ඒ අනුව, 'ඩෙල්ටා' දෙමුහුම් විකෘතියක් ලෙස ද සැලකෙයි.

අනෙක් වයිරස විකෘති වන 'ඇල්ෆා', 'බේටා', 'ගැමා', 'ලැම්බ්ඩා' ආදී 'කොවිඩ් 19' වයිරස විකෘතිවලට වඩා වේගයෙන් සහ බිහිසුණු ආකාරයට 'ඩෙල්ටා' ව්‍යාප්තිය සිදුවන අතර, දැනට භාවිතයට ගන්නා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් එය අඩපණ කිරීමට හැකිදැයි යන්න සැක මතුවී තිබේ.

කෙසේ නමුත්, ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම සහතික වී ඇත්තේ, ඔවුන්ගේ එන්නතට 'ඩෙල්ටා' නිකෘතිය අඩපණ කළ හැකි බවය.

මේ වනවිට සාර්ථක එන්නත්කරණයක් සිදුවන රටවලින් පවා යළි ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ ද 'ඩෙල්ටා' විකෘතියේ ව්‍යාප්තියත් සමඟ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජූලි 18 වැනිදා සිට 21 තෙක් ලොව නන්දෙසින් නව ආසාදිතයන් මිලියන 3.4 ක් වාර්තා වූ බවත්, එසේ වාර්තා වූයේ 'ඩෙල්ටා' විකෘතිය ආසාදනය වූවන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS