ලූලා ද සිල්වා ඉවත් වෙයි



බ‍්‍රසීල ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා ගත් තීරණය වෙනස් කරනවා යැයි අල්ලස් සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබ වරදකරු වී, වසර 12 ක සිර දඬුවමක් විඳින බ‍්‍රසීල හිටපු ජනාධිපති ලූලා ද සිල්වා තීරණය කළේය.

හිටපු ජනාධිපති ලූලා ද සිල්වා මෙසේ තීරණය කළේ, සිරදඬුවම් විඳින හෙයින්, ඔහුට යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව අධිකරණය අවස්ථා කිහිපයකදී පෙන්වා දීමත් සමඟ යැයි බ‍්‍රසීල පුවත් සේවා වාර්තා කර තිබේ.

72 හැවිරිදි ලූලා ද සිල්වා ගත් එම තීරණය ප‍්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ ඔහුගේ බ‍්‍රසීල කම්කරු පක්ෂයේ නායක ග්ලෙයිසී හොෆ්මන් විසිනි. ඒ, පක්ෂ ආධාරකරුවන් සහ මාධ්‍ය අමතමින්, ලූලා ද සිල්වා ලියා එවූ ලිපියක් කියවමිනි.

තමන්ට එල්ල වී ඇති සියලූ චෝදනා ලූලා ද සිල්වා යළිත් වරක් ප‍්‍රතික්ෂේප කර තිබේ. හිටපු ජනාධිපතිවරයා දිගින් දිගටම පවසා ඇත්තේ තමාට සිරදඬුවම් නියම කිරීම දේශපාලන කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් කියාය.

පසුගිය අගෝස්තුවේ කම්කරු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැුස්විය. එහිදී මෙවර ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයා ලූලා ද සිල්වා යැයි ඒකමතිකව තීරණය කෙරුණි.

බ‍්‍රසීලයේ ජනාධිපතිවරණය පමණක් නොව පාර්ලිමේන්තු මහ මැතිවරණය ද ලබන ඔක්තෝබර් 7 වැනිදා සිට සති දෙකක කාලයක් පුරාවට අදියර කිහිපයකින් පැවැත්වීමට නියමිතව ඇත.

ලූලා ද සිල්වා බ‍්‍රසීලයේ ජනාධිපති ධුරය හෙබවූයේ 2003 වසරේ ජනවාරියේ සිට 2010 වසරේ දෙසැම්බර් මාසය තෙක් කාලයේය. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව දැනුම් දෙමින්, තමා වෙනුවෙන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ 55 හවැරිදි ෆර්නැන්ඩෝ හැඞ්ඩැඞ්ට සහාය දක්වන්නැයි ද ලූලා ද සිල්වා සිය අපේක්ෂකයන්ගෙන් ඉල්ලා ඇත.

ෆර්නැන්ඩෝ හැඞ්ඩැඞ්, බ‍්‍රසීලයේ සා ඕපාවුලෝ නුවර නගරාධිපතිවරයා ලෙස 2013 සිට 2017 තෙක් කාලයේ කටයුතු කළ අයෙකි. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ බ‍්‍රසීල වැසියන්ගෙන් ලූලා ද සිල්වාට ලැබෙන ආකාරයේ පිළිගැනීමක් හැඞ්ඩැඞ්ට නොලැබෙන බවය.

(රොයිටර්)

 


RECOMMEND POSTS