රුසියාවේ විකිරණ කාන්දුවක්



විකිරණ කාන්දුවක් හේතුවෙන්, රුසියාවේ කුඩා ගම්මානයක පදිංචි වැසියන් කිලෝ මීටර් ගණනාවක් දුර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට රුසියානු බලධාරීහු පියවර ගත්හ.

විකිරණ කාන්දුව හේතුවෙන් හිස් කෙරුණේ නියෝනොස්කා ගම්මානය සහ ඒ අවට පළාත්වල පදිංචිකරුවන්ය. විකිරණ කාන්දුවට හේතුවක් වූයේ ඉකුත් අගෝස්තු 8 වැනිදා, නියෝනොස්කා ගම්මානය පිහිටි නියෝනොස්කා පළාතේ ධවල මුහුදට මුහුණලා පිහිටි රුසියානු නාවික හමුදා කඳවුරක සිදුවුණු සිදුවීමකි.

මාධ්‍ය වාර්තා අනුව, රුසියානු රජයේ රොස්ටොම් න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය මැදිහත් වී, සිදුකළ අත්හදා බැලීමකදී පිපිරීමක් සිදුවිය. එය න්‍යෂ්ටික රොකට්ටුව ඇන්ජිමක් පිපිරී යෑමක් යැයි රුසියානු මාධ්‍ය වාර්තා කළත්, රුසියානු රජය ඒ ගැන වැඩි විස්තර අනාවරණය කර නැත.
පිපිරීමට හසුවීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

එම පස් දෙනා න්‍යෂ්ටික ඉන්ජිනේරුවන් සහ තාක්ෂණවේදීන් බව පැවැසිණි. එම පස්දෙනා ‘වීරයන්’ ලෙස රුසියානු රජය විසින් නම් කරනු ලැබුණි. රජයේ අනුග්‍රහයෙන් එම පස්දෙනා කඩිනමින් මිහිදන් කෙරුණේ, ඔවුන්ගේ සිරුරු විකිරණවලට නිරාවරණය වීමක් සිදුවී ඇති බව ද පවසමිනි.

රොකට් ඇන්ජිම පුපුරා යෑමේදී, විකිරණ කාන්දුවක් සිදුවුණු බවට බියක් නියෝනොස්කා පළාත පුරා පැතිරෙන්න විය. ඒ ගැන කාලගුණ විද්‍යාඥයන් ද විමසිල්ලෙන් පසුවුණු අතර, නියෝනොස්කා පදිංචි වැසියෝ අයඩයින් පෙති ඉල්ලමින් පළාත් වෛද්‍ය මධ්‍යස්ථාන වෙත එක් රොක් වූහ.

පිපිරීම සිදුවුණු ස්ථානයේ සිට කිලෝ මීටර් 30 ක ප්‍රදේශයක් පුරා වාතයේ විකිරණ හානිකර ආකාරයට ඉහළ යෑමක් පෙන්නුම් කරන බව රුසියානු කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවීමක් කළ අතර, නියෝනොස්කා ගම්මානයේ සහ ඒ අවට පදිංචි වැසියන් ඉවත් කිරීම ඒ අනුව සිදුවුණු බව පැවැසෙයි.

අත්හදා බැලීමේදී පුපුරා ගියේ යැයි පැවැසෙන්නේ එය 9එම්.730 බුරේවෙස්ට්නික් න්‍යෂ්ටික බලැති දිගු දුර කෲස් මිසයිලයක් යැයි උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව අනුමාන කරයි. මහත් විනාශයක් කළ හැකි බිහිසුණු අවියක් ලෙස මෙම මිසයිලය වර්ගීකරණයට ලක් කර තිබේ. නේටෝ සංවිධානය 9එම්.730 බුරේවෙස්ට්නික් කෲස් මිසයිලය හඳුන්වන්නේ ‘ස්කයිෆෝල්’ යනුවෙනි.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS