රුසියාවට එන්නැයි ඇරැයුමක්



රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට, රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් ඇරැයුම් කර තිබේ.

රුසියානු විදේශ ඇමැති ලැව්රෝව් මෙසේ උතුරු කොරියා නායකයාට ඇරැයුම් කළේ උතුරු කොරියාවේ නිල සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේදීය. රුසියානු රජයේ ජ්‍යෙෂ්ඨයකු මේ අයුරින් උතුරු කොරියාවේ සංචාරයක නියැළෙන්නේ 2009 වසරෙන් පසුවය.

න්‍යෂ්ටික අවිහරණය සඳහාත් ලෝක සාමය සඳහාත් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ කැපවීම රුසියාවේ පැසැසුමට හේතුවක් වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සහාය උතුරු කොරියාවට ලබා දීමට රුසියාව කටයුතු කරන බවත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙනුවෙන් විදේශ ඇමැතිවරයා පවසා ඇත.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ හමුවක් ලබන 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් ද උතුරු කොරියා නායකයා රුසියානු විදේශ ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS