රුසියාවට එන්න වීසා ඕනෑ නෑ



නිමාවට පත්වුණු ලෝක කුසලාන පාපන්දු කුසලාන තරගාවලිය නැරැඹීමට රුසියාවට පැමිණි විදෙස් පාපන්දු ලෝලීන්ට, වසරක කාලයක් වීසා නොමැතිව රුසියාවට පැමිණීමට අවසර ලබා දෙන බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.

පාපන්දු ලෝක කුසලානය නැරැඹීමට රුසියාවට පැමිණි විදෙස් පාපන්දු ලෝලීන්ට විශේෂ හැඳුනුම්පතක් ලබා දී ඇති අතර, එම හැඳුනුම්පත පෙන්වා ඔවුන්ට රුසියාවට ඇතුළු විය හැකි යැයි ද පැවැසෙයි. මෙම හැඳුනුම්පතේ වලංගු කාලය ලබන 25 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණ ද, රුසියා ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ එය වසරක කාලයක් දීර්ඝ කරන බවය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අවසන් වූයේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ ක්‍රොඒෂියාව සහ ප්‍රංශය අතරේය. 2018 ලෝක පාපන්දු ශූරයන් බවට පත් වූයේ ප්‍රංශ කණ්ඩායමය.

පාපන්දු ලෝක කුසලානය රුසියාවේ පැවැත්වීමට අවස්ථාව ලැබීම තමන්ට ආඩම්බරයක් බවත්, පාපන්දු ක්‍රීඩා උළෙලේ සියලු කටයුතු බොහොම හොඳින් සිදුවුණු බවත් රුසියානු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත. අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගේ තර්ජන හමුවේ ක්‍රීඩා උළෙල පැවැත්වූයේ විශේෂ ආරක්ෂාවක් යටතේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS