රියැදුරෙක් පදිකයන් යට කරයි



වියරු වැටුණු රියැදුරකු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිකයන් යට කිරීමෙන් 17 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණාහ.

තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි. සුසුකී එස්යූවී රථයක් පදවමින් පදිකයන් අතරට කඩා වැදුණු රියැදුරා පලා යෑමට තැත් කරද්දී, ඔහු අල්ලා ගැනීමට මෙල්බර්න් පොලිසිය සමත්විය.

මෙල්බර්න් ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරයයි. පදිකයන් යටවීම සිදු වූයේ ෆිඞ්ලර්ස් වීදියේ දුම්රිය පොළ අසල මාර්ගයේදීය. ඒ, එරට වේලාවෙන් සවස 4.41 ට පමණි.

සුසුකී එස්යූවී මෝටර් රථය වේගයෙන් පැමිණ පදිකයන් අතරට කඩා වැදුණු අවස්ථාවේදී එහි හැපුණු පිරිස් අහසට විසිවුණැයි සිද්ධිය දුටුවෝ පවසති. හිස තුවාල වී රෝහල් ගත කළ පිරිස අතර පෙර පාසල් දරුවෙක් ද සිටී.

පොලිසිය පවසන්නේ එය සිතාමතා කළ කුරිරු ක්‍රියාවක් කියාය. එය ත්‍රස්ත ක්‍රියාවක් යැයි දැක කෙරේ. අත්අඩංගුවට ගත් රියැදුරාගේ අනන්‍යතාව මෙතෙක් මාධ්‍යවෙත හෙළි කර නැත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS