රැජිනගෙන් නේටෝ නායකයන්ට භෝජන සංග්‍රහයක්



උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව පිහිටුවා වසර 70 ක් ගතවීම නිමිත්තෙන්, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට රැස්ව සිටින නේටෝ සාමාජික රටවල රාජ්‍ය නායකයන් වෙනුවෙන් දෙවැනි එලිසබත් මහ රැජින රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූවාය. භෝජන සංග්‍රහය පැවැත්වූයේ බකිංහම් මාලිගයේය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලන්ඩනයට පැමිණ සිටින්නේ බිරිඳ මෙලානියා සමඟය. මහ රැජින පැවැත්වූ භෝජන සංග්‍රහයට මෙලානියා ද සහභාගී වූවාය. බකිංහැම් මාලිගාවේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි නේටෝ රාජ්‍ය නායකයන් පිළිගැනීමට, චාල්ස් කුමරු සහ කැමිලා පාකර් ආදිවාදවරිය ද පැමිණ සිටියහ.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මේකල්, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ සහ නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග් සමඟ එලිසබත් මහ රැජින සුහද පිළිසඳරකට එක්වූවාය. ඊට අමතරව, නේටෝ නායකයන් සමඟ මහ රැජින සහ පුතු ඔටුන්න හිමි චාල්ස් කුමරුන් සමරු ඡායාරූපයකට පෙනී සිටියහ.

නේටෝ සමුළුවට පෙර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. නේටෝව මොළය අකර්මණ්‍ය වූ සංවිධානයක් යැයි මීට දින කීපයකට පෙර, ප්‍රංශ ජනපති මැක්රොන් කළ ප්‍රකාශය මෙහිදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ විරෝධයට හේතුවක් විය.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් කළ එම ප්‍රකාශය අනෙක් නේටෝ නායකයන්ට කළ අපහාසයක් යැයි ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපතිවරයාට පැවැසීය. කෙසේ නමුත් ඇමෙරිකන් තානාපතිවරයාගේ නිල නිවසේ  දී යළි ට්‍රම්ප් සහ මැක්රොන් දෙදෙනා හමුවුණු අතර, එහිදී ගෝලීය තර්ජන පිටුදැකීම කෙරෙහි නේටෝවේ අවධානය වැඩිවැඩියෙන් යොමු විය යුතු බව නායකයෝ දෙදෙනා ඒකමතිකව අනුමත කළහ.

මේ අතර ආරක්ෂක සමුළුවට පෙර, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මේකල් හමුවී සාකච්ඡා පැවැත්වීය. ඒ, පවතින එදිරිවාදිකම් මඟහරවා ගැනීමටය.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS