රැජින හමුවෙද්දී මැණියන් සිහිවුණා - බයිඩන්



බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ ආදරයත් කරුණාවත් හමුවේ, තමන්ට තම මෑණියන් සිහිවුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකා ජනාධිපති ජෝ සහ ආර්යා ජිල් බයිඩන් එලිසබත් මහ රැජින හමුවීමට ගියේ 'ජී7' සමුළුව අවසන් වීමෙන් පසුවය.

එලිසබත් මහ රැජින වින්ඩ්සර් මාලිගයේ තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබුණි. 95 හැවිරිදි දෙවැනි එලිසබත් මහ රැජින සහ 78 හැවිරිදි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අතර හමුව පැවැත්වූයේ ඊයේ (13) සවසය.

'ඇය හරිම කරුණාවන්තයි. ආදරේ පිරිලා. ඒ වගේ උණුසුම් ආදරයක් මට ලැබුණේ මගේ මෑණියන්ගෙන්. මට ඇය සිහිවුණා. ජී7 නායකයන් සමඟ මා කතාබහ කළේ මොනවාදැයි මහ රැජින මගෙන් විමසීමක් කළා. චීන ජනාධිපති ෂී ජින්පින් ගැන ඇයට මගෙන් විස්තර දැනගන්න ඕනෑ වුණා. ඒ වගේමයි මා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට සූදානම්. ඒ ගැනත් ඇය මගෙන් ඇහුවා. මමත් බිරිඳත් තේ පැන් සංග්‍රහයට පැමිණෙන තුරු මහ රැජින බොහොම ආසාවෙන් බලා සිටි බව ඇය මට කීවා. ඒක ඇත්ත' යැයි රැජින හමුවී ආපසු ලන්ඩන් නුවරට පැමිණි අවස්ථාවේදී ජනපති බයිඩන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. බයිඩන්ගේ මව කැතරීන් 'ජීන්' බයිඩන් අභාවප්‍රාප්ත වූයේ 2010 වසරේදීය. එවිට ඇගේ වයස අවුරුදු 92 කි.

තේ පැන් සංග්‍රහයට වින්ඩ්සර් මාලිගයට පැමිණි ඇමෙරිකන් ජනාධිපතිවරයාත් ආර්යාවත් පිළිගැනීම සිදුවූයේ රාජකීය හමුදාවේ උත්තමාචාර මැදය. 'ජී7' සමුළුව පැවැත්වූයේ බ්‍රිතාන්‍යයේ කෝන්වෝල් ප්‍රාන්තයේය. 'ජී7' සමුළුව අතරතුරේ ද එලිසබත් මහ රැජිනට බයිඩන් යුවළ හමුවිය. ඒ, මහ රැජින, පුතු චාල්ස් කුමරු සහ බිරිඳ කැමිලා ආදිපාදවරිය 'ජී7' නායකයන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ භෝජන සංග්‍රහයට එක් වුණු අවස්ථාවේදීය.

'ජී7' සමුළුව නිමාවී, රැජින සමඟ තේ පැන් සංග්‍රහයෙන් පසු ඇමෙරිකා ජනාධිපති බයිඩන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා පිටත්ව ගියේය. අනිද්දා, 16 වැනිදා, ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවෙති.

බයිඩන්, ඇමෙරිකා ජනාධිපති ලෙස රුසියන් ජනාධිපති පුටින් හමුවන පළමු අවස්ථාව මෙයයි. ඔබාමා පරිපාලනය පැවැති සමයේ, ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හෙබවූයේ බයිඩන්ය. ඇමෙරිකන් උප ජනාධිපති ලෙස බයිඩන් සහ පුටින් අතර සාකච්ඡා පැවැත්විණි.

(ඩේලිමේල්)


RECOMMEND POSTS