රැජින ගින්නෙන් විපතට පත්වූවන් හමුවෙලා



පිටපිටම එල්ල වෙමින් ඇති ඛේදජනක සිදුවීම් හමුවේ එක්සත් රාජධානිය මුහුණ දී ඇති කණගාටුදායක තත්වයෙන් මිදීමේ දුෂ්කර තත්වයක් උදා වී ඇති බව  බ්‍රිතාන්‍යෙය් එළිසබෙත් රැජින පවසයි.

ලංඩන් සහ මැන්චෙස්ටර් ප්‍රහාර වලින් අනතුරුව පසුගිය සතියේ ලංඩන් 'කෙන්සිංටන් චෙල්සී' කලාපයේ 'ග්‍රෙන්ෆෙල්' තට්ටු නිවාස සංකීර්ණය (Grenfell Tower)  ගින්නකට ගොදුරු වීමෙන් අත් වූ විපත හමුවේ රට අධිෂ්ඨාන පූර්වකව සිටින බවත් කියා සිටින්නීය.
දෙවන එළිසබෙත් බ්‍රිතාන්‍ය රැජින,  මේ බව කියා සිටියේ එම තට්ටු නිවාස සංකිර්ණ ගින්නට හසුව අවතැන් වූ පුද්ගලයින් කිහිපදෙනෙකු හමුවීමට විලියම් කුමරු සමඟ ඔවුන් රැඳී සිටින සුබසාධක කඳවුරකට ගිය අවස්ථාවේදීය.

මෙහිදී බ්‍රිතාන්‍ය රැජින විවිධ ජාතීන් හා ආගම් වලට අයත් පිරිස් සමඟ විනාඩි 45 කට ආසන්න කාලයක් සුහද පිළිසඳරක නිරත වී ඇත.එසේම මහ රැජින එරට ගිනිනිවීමේ සේවකයින් පිරිසක් හමුවූවාය.

දැවී ගිය 'ග්‍රෙන්ෆෙල්' තට්ටු නිවාස සංකීර්ණය කඩා වැටීමට හේතුවිය හැකැයි සලකමින් ඒ අසළින් දිවෙන ලංඩන් උමං දුම්රිය මාර්ග දෙකක දුම්රිය එම කලාපය ඔස්සේ ධාවනය කිරීම නතර කරනු ලැබ ඇත

'ග්‍රෙන්ෆෙල්' තට්ටු නිවාසය තුළ මෙතෙක් සිදු කරන ලද සෝදිසි කිරීම් අනුව මරණ තිහක් තහවුරු කරනු ලැබ ඇත.එවැනි ගිනි ගැනීම් වැළැක්වීමට අදාළ පූර්ව පියවර නොගැනීම සම්බන්ධයෙන් 'කෙන්සිංටන් චෙල්සී' නාගරික සභාව මෙන්ම ආණ්ඩුවත් මහජන දෝෂ දර්ශනයට ලක් වෙමින් පවතී.

 

( තිළිණි ද සිල්වා )
ද ඉන්ඩිපෙන්ඩන්ට් ඇසුරෙනි......

 

 


RECOMMEND POSTS