රාවණා පෘථිවි කක්ෂයට



මෙරට නිර්මාණය කළ පළමු චන්ද්‍රිකාව වන රාවණ 01 මෙරට වේලාවෙන් අද (17) පස්වරු 3.45ට පමණ කක්ෂගත කෙරුණු බව නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයේ අධක්‍ෂ ජනරාල් සනත් පනාවැන්න මහතා මැදපෙරදිග ලංකාදීප වෙබ් අඩවියට පැවසීය.

ඒ අනුව එම චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර් 400ක් ඉහළින් පිහිටි කක්ෂය වෙත මුදා හැරීම සිදුකෙරුණු බව ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ජපානයේ කියුෂු තාක්‍ෂණ ආයතනයේ සහයෝගීතාව යටතේ ආතර් ශ්‍රී ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විසින් මෙම චන්ද්‍රිකාව නිර්මාණය කරනු ලැබූහ.

එම චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව ඉකුත් අප්‍රේල් 19 වැනිදා අලුයම 2.16 ට අමෙරිකාවේ නාසා ආයතනයේ ගගන මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ නැවැතුම්පොළ වෙත යවනු ලැබුණි.

එය ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ සමඟ සම්බන්ධ වූයේ පැය 36 ක කාලයක් ගමනකින් පසුවය.

මෙම චන්ද්‍රිකාවේ අවම ආයු කාලය අවුරුදු එකහාමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා ක්‍රියා කළ හැකි බවට විශ්වාසය තබා ඇතැයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

කිලෝ ග්‍රෑම් 1.5ක් බරැති මෙම ඝනක චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසුව දිනකට වට 15ක් පෘථිවිය වටා  භ්‍රමණය වන  අතර එහි වේගය ආසන්න වශයෙන් තත්පරයට කිලෝමීටර් 7.6කි.

රාවණ 01  චන්ද්‍රිකාව මගින් සිදුකිරීමට අපේක්ෂිත ක්‍රියාදාමයන් සංඛ්‍යාව පහක් වන අතර ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ නම් දත්ත බාගත කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත මෘදුකාංගයක් අත්හදා බැලීම ඒ අතර වේ.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS