රාම් දෙවියන් අයිති ඉන්දියාවට නොවේ නේපාලයට



රාම් දෙවියන් අයිති ඉන්දියාවට නොව නේපාලයට බවත්, සැබෑ අයෝධ්‍යාව ඇත්තේ ඉන්දියාවේ නොව නේපාලයේ බවත්, නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, ඉන්දු නේපාල අර්බුදය උත්සන්න වී ඇත.

අයෝධ්‍යා යනු රාමායනයේ සඳහන් රාමාගේ (පසුව රාම් දෙවියන්) උපත සිදුවුණු ස්ථානයයි. ඉන්දියානුවන්ගේ විශ්වාසයට අනුව, අයෝධ්‍යාව ඇත්තේ ඉන්දියාවේ උත්තර ප්‍රදේඕ ප්‍රාන්තයේ ෆයිසාබාද් දිස්ත්‍රික්කයේය. කෙසේ නමුත් අයෝධ්‍යාවේ පිහිටීම සම්බන්ධයෙන් තර්ක විතර්ක පවතී.

අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි පවසා ඇත්තේ අයෝධ්‍යාව පිහිටන්නේ බාල්මිකී ආශ්‍රමය අවට බවය. ඒ අනුව, රාම් දෙවියන්ගේ උපත නේපාලයේ දී සිදුවුණැයි අගමැතිවරයා පෙන්වා දී තිබේ. නේපාල අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය ඉන්දියානුවන් කුපිත කිරීමටත් ඉන්දු නේපාල දේශාපලන අර්බුදය තවත් උත්සන්න කිරීමට හේතුවක් වී තිබේ.

නේපාලයත් ඉන්දියාවත් අතර අර්බුදයක් නිර්මාණය වූයේ දෙරට අතර දේශසීමා සම්බන්ධයෙනි. මීට සති කීපයකට පෙර, නේපාල අගමැතිවරයා නේපාල දේශසීමාව අලුතින් සකස් කරන්නැයි පැවැසුවේ ඉන්දියාවට අයත් පළාත් කීපයක් ද නේපාලයට ඇතුළත් වන අයුරිනි.

නේපාල අගමැතිවරයා මෙසේ කළේ චීනයට හිතවත්කම් පෙන්වමින් යැයි චෝදනා නැගිණි. කෙසේ නමුත්, නේපාල කොමියුනිස්ට් පක්ෂයෙන් අගමැතිවරයාට දොස් අහන්න සිදුවිය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඉන්දියාව නේපාලයේ මිතුරා බවත් එම මිත්‍රත්වය පළුදු කර නොගත යුතු බවත් කොමියුනිස්ට් පක්ෂය අගමැතිවරයාට පෙන්වා දුන්නේය. නේපාල කොමියුනිස්ට් පක්ෂය අගමැති ඕලීට බල කර ඇත්තේ වහා ධුරයෙන් ඉවත් වන ලෙසය.

මේ අතර, නේපාල කේබල් රූපවාහිනී නාළිකා ඔස්සේ, ඉන්දීය පුවත් නාළිකා විකාශය නැවැත්වීය. ඒ, නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලී සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කිරීම හේතුවෙනි. නේපාල අග්‍රාමාත්‍යවරයා චීන හිතවාදියකු බවත්, ඔහු චීනයේ සහාය ලබා ගනිමින් ඉන්දියාව සමඟ දේශසීමා අර්බුදයකට මැදිවුණැයි පසුගිය දින කීපයේ ඉන්දීය පුවත් සේවා පුවත් විකාශය වීමට පටන් ගත්තේය. මෙය නේපාල වැසියන්ගේ විරෝධයට හේතුවක් වුණු අතර, කේබල් නාලිකා ක්‍රියාකරුවන් ඉන්දීය පුවත් නාළිකා තහනම් කිරීමට පියවර ගත්තේ ඒ අනුවය.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS