රාජකීය බිරිඳගේ නිලතල ඉවත් කෙරේ



තායිලන්තයේ වජිරලොන්කෝන් රජු, රාජකීය ආඥාවක් නිකුත් කරමින් සිය ‘රාජකීය බිරිඳ’ සීනනාත් වොන්වජිරපක්ඩිට ලබා දී තිබුණු සියලුම නිලතල සහ පදවි නාම ඉවත් කර ඇත.

සීනනාත් වැරැදි සහගත අයුරින් සහ රජතුමාට අගෞරව වන අයුරින් හැසිරෙන බැවින්, රජතුමා ඇයට ලබා දුන් නිලතල සහ පදවි නාම සියල්ල ඉවත් කළ බව තායිලන්ත රජ මාලිගය නිකුත් කළ නිවේදනයෙහි දැක්විණි.

වජිරලොන්කෝන් රජු 34 හැවිරිදි සීනනාත් වොන්වජිරපක්ඩි සිය ‘රාජකීය බිරිඳ’ ලෙස නම් කළේ පසුගිය ජූලි 28 වැනිදාය. ඒ, රජු විවාහ වී මාස දෙකකට පසුවය. සීනනාත් ‘රාජකීය බිරිඳ’ ලෙස නම් කිරීම සිදුවූයේ රජුගේ 67 වැනි ජන්ම දිනය දා ය.

තායිලන්ත රජ කෙනකු මෙසේ ‘රාජකීය බිරිඳ’ සඳහා කාන්තාවක පත්කර ගත්තේ 1921 වසරෙන් පසුව යැයි වාර්තා විය. වජිරලෝන්ග්කෝන් රජු ඔටුන්න හිමි කුමරකුව සිටි අවදියේ පටන් කාන්තාලෝලියකු මුරණ්ඩු චරිතයක් ලෙස ප්‍රකටය.

රජු විවාහ වූයේ ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිනිය මෙන්ම දීර්ඝ කාලීන පෙම්වතිය ද වූ 41 හැවිරිදි සුතිදා සමඟය. තායිලන්ත ‘රැජින’ යන ගෞරව නාමයෙන් සුතිදා හැඳින්වෙන අතර, ඇය රජුගේ සිවුවැනි බිරිඳය.

සුතිදා ගුවන් සේවිකාවක ලෙසත් රජුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිනිය ලෙස කටයුතු කළ තැනැත්තියයි. සීනනාත් වොන්වජිරපක්ඩි, තායිලන්ත සුතිදා රැජිනට සමාව වීමට උත්සාහ ගත් බවට ද චෝදනා එල්ල වී තිබේ.

සීනනාත්, තායිලන්ත හමුදාවේ හෙදියකි. මැය ප්‍රහාරක ගුවන් යානා නියමුවරියකි. පැරැෂූට් ශූරියකි. වජිරලොන්කෝන් රජු, මැදිහත් වී මැයට හමුදාවේ මේජර් තනතුරක් ලබා දීමට ද පියවර ගත්තේය. රාජ ආඥාව අනුව මේජර් තනතුර ද සීනනාත් ට අහිමි වෙයි.

බැංකොක්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS