රතු කුරුසය යන්න හදයි



ඇෆ්ගනිස්තානයේ සිදුකරන මානුෂීය මෙහෙයුම් නවතා එරටින් පිටවීමට තීරණය කර ඇතැයි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය නිවේදනය කළේය.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මෙසේ තීරණය කළේ, ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන්ගෙන් සහ අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගෙන් එම සංවිධානයේ සාමාජිකයන්ට එල්ල වන ප්‍රහාර හේතුවෙනි.

පසුගිය ජනවාරියේ සිට මේ දක්වා ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් රතු කුරුස සංවිධානයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

‘අකමැත්තෙන් වුණත් අපි තීරණය කළා ඇෆ්ගනිස්තානයේ මානුෂීය මෙහෙයුම් අවසන් කරන්නත් එරටින් පිටවෙන්නත්. ඇෆ්ගනිස්තානයේ පළාත් රැසක වැසියන්ට සහනාධාර, ඖෂධ, ආහාර ද්‍රව්‍ය ආදිය ලබා දීම සිදු කරන්නේ අපේ සාමාජිකයන්. ඒත් ඔවුන්ගේ ආරක්ෂාව ගැන අප බලන්න ඕනෑ’ යැයි ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානී මොනිකා සනරේලී මාධ්‍ය හමුවේ කියා සිටී.

ඇෆ්ගනිස්තානයේ යුද ගැටුම් හේතුවෙන් අස්ථාවර වුණු පළාත්වල දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම පවා සිදුවන්නේ රතු කුරුස සංවිධානයේ මැදිහත්වීමෙනි.සහන සේවකයන්, මනෝවෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන බොහෝ දෙනෙක් රතු කුරුස සාමාජිකයන් අතර වෙති.

ඉකුත් පෙබරවාරියේ රතු කුරුස සංවිධානයේ සාමාජිකයන් හය දෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරුණාහ. ඒ, නානදුනන තුවක්කුකරුවන් කණ්ඩායමක් විසිනි. රතු කුරුස සාමාජිකයන්ට එම ප්‍රහාරය එල්ල වූයේ ජොව්සාන් පළාතේදීය.

ඊට අමතරව තවත් සාමාජිකයන් දෙදෙනකු සන්නද්ධ සාමාජිකයන් විසින් පැහැර ගෙන ගියේ යැයි පැවැසිණි. සති කිහිපයකට පසු ඔවුන් නිදහස් කිරීමට එම සන්නද්ධ සාමාජිකයෝ කටයුතු කළහ.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS