යළි හමුවෙන්න ඕනෑ



යළි හමුවක් පවත්වා සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් යැයි දන්වමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ලිපියක් යවා ඇත.

මේ බව අනාවරණය කළේ ධවල මන්දිරයයි. ධවල මන්දිරය මීට දින කීපයකට පෙර නිවේදනය කර තිබුණේ ද උතුරු කොරියා නායකයාගෙන් ලිපියක් අපේක්ෂාවෙන් ට‍්‍රම්ප් බලා සිටින බවය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික හමුව පැවැත් වූයේ පසුගිය ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදීය. ට‍්‍රම්ප් පවසන පරිදි එම හමුව ඉතා සාර්ථක එකක් විය.

එහිදී ද උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇමෙරිකා ජනාධිපතිවරයාට පොරොන්දුවක් දුන්නේය. ඒ, සියලූ න්‍යෂ්ටික කටයුතු සහ මිසයිල අත්හදා බැලීමේ කටයුතු නවත්වන බවටය.

කෙසේ නමුත් එම කටයුතු ඉතා මන්දගාමීව සිදුවන බවට ඇමෙරිකා ජනාධිපතිවරයා මීට සති කීපයකට පෙර චෝදනා කළේය.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ උතුරු කොරියාවේ සංචාරය කිරීමට සූදානමින් සිටි අතර, ට‍්‍රම්ප් මැදිහත් වී එය අවලංගු කරන්නැයි දැන්වීය. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවක් හේතුවෙනි.

උතුරු කොරියාව පොරොන්දු වූ පරිදි න්‍යෂ්ටික කටයුතු නවත්වා නැති බවත් දිගටම මිසයිල නිපදවන බවත් එම වාර්තාවේ සඳහන් විය. කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප් මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කරයි. ඔහු තරයේ කියා සිටින්නේ උතුරු කොරියා නායකයා සහ තමා අතර පවතින සබඳතා ශක්තිමත් කියාය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS