මෝදි ට්‍රම්ප් හමුවෙයි



ඇමෙරිකාවේ සංචාරයක යෙදෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.

ධවල මන්දිරයට ආ ඉන්දීය අගමැතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට ජනපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා කටයුතු කළහ. ජනපති ට්‍රම්ප් සහ අගමැති මෝදි අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය විය.

ඉන්දියාව සහ ඉන්දීය අගමැති මෝදි ඇමෙරිකාවේ සැබෑ මිතුරකු යැයි මීට පෙර අවස්ථා ගණනාවකදී ජනපති ට්‍රම්ප් පවසා තිබුණි.

ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනපති සහ මෝදි අතරේ කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඒ අතරින් කැපී පෙනෙයි. ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ පැවැති එම ද්වීපාර්ශ්වීක සාකච්ඡාවලින් පසු රාජ්‍ය නායකයයෝ දෙදෙනා එක් වී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

ඉස්ලාමීය අන්තවාදයට සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවතමන් ඒකමතිකව තීරණය කළ බවත්, ඉන්දියාවේ සහාය ඒ සඳහා නොඅඩුව හිමි වන බවත් ජනපති ට්‍රම්ප් එහිදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

‘නව ඉන්දියාවක්’ යන සංකල්පයේ සිටින ඉන්දියාව සහ ‘ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ තැනක් කරමු’ යන සංකල්පයේ සිටින ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින සබඳතා තව තවත් ශක්තිමත් වුණැයි ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.

දෙදෙනාට පොදු වූ කරුණු කාරණා පිළිබඳ සාකච්ඡා පැවැත්වුවත්, මෝදිගේ වීසා අර්බුදය ගැන හෝ පැරිස් කාළගුණ සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් වීම ගැන හෝ සාකච්ඡා නොකළ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඇමෙරිකාව විසින් ඉන්දීය අගමැති මෝදිට ලබා දී ඇත්තේ තාවකාලික වීසා පත්‍රයකි.

(රොයිටර්)


RECOMMEND POSTS