මුම්බායි නුවරට මහ වැසි



ඉන්දියාවේ මුම්බායි නුවරට ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවත් දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

මුම්බායි ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ අගනුවර වන අතර, ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ නගරය ද වෙයි. පසුගිය පැය 24 ක පුරාවට අධික වර්ෂාවක් ලැබුණු බවත්, එවැනි අධික වර්ෂාවක් මුම්බායි නුවරට ඇද හැලුණේ දශකයකට පසුව බවත් කාලගුණ විද්‍යාඥයන් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මුම්බායි මහ ඇමැති දේවේන්ද්‍ර ෆද්නාවිස් මුම්බායි නුවරටත්, ජලයෙන් යටවුණු සෙසු පළාත්වලටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේය. නිවෙස් තුළට වී සිටින්නැයි මහ ඇමැතිවරයා ජනතාවට උපදෙස් දුන්නේය.

ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් 16 දෙනකු මියගොස් ඇති බවත් ද දහස් ගණනකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත් වාර්තා වේ. මියගිය 16 දෙනාගෙන් පස් දෙනකු කුඩා දරුවන් බවත් ඔවුන් මියගොස් ඇත්තේ විදුලි සැර වැදීමෙන් බවත් වාර්තා වේ.

විපතට පත් වූවන්ට පිහිට වීමට ඉන්දීය නාවික හමුදාව මානුෂීය මෙහෙයුම් සඳහා යොදවා ඇත. දුම්රිය ගමන් ද වර්ෂාව හේතුවෙන් අඩපණ වී ඇති අතර ගුවන්තොටුපොළ වසා දැමීමට ද පියවර ගෙන ඇත. ඊයේ උදෑසන වාර්තා වූයේ ගුවන් ගමන් 52 ක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගත් බවය. තවත් ගුවන් ගමන් 54 ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවුණු බව ද පැවැසෙයි.

මුම්බායිහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS