මියන්මාර රජයට එරෙහි නඩු විභාගය ඇරැඹේ



මියන්මාරයේ සුළු ජාතීන් වන රොහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට එරෙහි අපරාධ සිදු කළේ යැයි යන චෝදනා මුල්කොට ගනිමින් මියන්මාර රජයට එරෙහි නඩු විභාගය නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ ආරම්භ විය.

මියන්මාර රජය නියෝජනය කරමින් එරට නිල නොවන නායිකාව සහ විදේශ අමාත්‍යවරිය ද වන අවුන් සාන් සූ කී, හමුදා ප්‍රධානීන් ද සමඟ හේග් නුවරට පැමිණ සිටින අතර, ඔවුහු ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මියන්මාරයේ සුළු ජාතික මුස්ලිම්වරුන් වන්නේ රොහින්ග්‍යාවරුන්ය. මොවුන් ජීවත් වන්නේ රකීන් නමැති පළාතේය. මියන්මාරයේ බහුතරය බෞද්ධ ය. රකීන් පළාත වෙනුවෙන් රොහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙනම පාලනයක් ඉල්ලයි. එම මුස්ලිම්වරුන්ට අන්තවාදී සන්නද්ධ කල්ලිවල ද සහාය හිමිවවෙයි.

තමන් යුද වදින්නේ එම අන්තවාදී කණ්ඩායම් සමඟ යැයි මියන්මාර හමුදාව පවසා ඇත. මියන්මාරය රොහින්ග්‍යා වැසියන් සමූල ඝාතනය කරනවා යැයි ජගත් අපරාධ අධිකරණයට චෝදනා ඉදිරිපත් කර ඇත්තේ අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවය.
ගැම්බියා අධිකරණ ඇමැති අබුබකාර් ටම්බාඩු හේග් අධිකරණයට පැමිණ අධිකරණය හමුවේ කියා සිටියේ, මියන්මාරයේ සිදුවන ජන සංහාර නැවැත්වීමට මියන්මාර රජය පියවර ගත යුතු බවය.

මියන්මාරයේ රොහින්ග්‍යා වැසියන් මුල්කොට ගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවූයේ 2017 දීය. එම අවස්ථාවේදී රොහින්ග්‍යා වැසියෝ දහස් ගණනින් අසල්වැසි බංග්ලාදේශයට පලා ගියහ. අද එම පිරිස බංග්ලාදේශ දේශසීමාවේ කඳවුරුවල රැඳී සිටිති.

හේග් නුවර නඩු විභාගය පැවැත්වෙද්දී, මියන්මාර හමුදාපති මිංග් අවුන් ලායිං ඇතුළු මියන්මාර හමුදා ප්‍රධානීන් සිවු දෙනකුට සම්බාධක පැනවීමට ඇමෙරිකාව පියවර ගත් බව ද වාර්තා වේ.  ඒ, රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් සම්බන්ධයෙන් මානව අයිතීන් උල්ලංඝනය වූ බවට චෝදනා කරමිනි.

හේග් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS