මිතුදම් දෙදරයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක නිම් ජොන් උන් එකිනෙකා හමුවී ඇතිකරගත් මිතුදම් දෙදරා ගොස් ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

ඇමෙරිකාව යළිත් වරක් උතුරු කොරියාවට සම්බාධක පැනැවීමටත්, දකුණු කොරියාව සමඟ එක් වී, ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීමටත් සූදානම් වන බව ද වාර්තා වේ.

ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතරේ පැවැති මිත‍්‍රත්වය දෙදරා යෑමට හේතුවක් වුණැයි පැවැසෙන්නේ, උතුරු කොරියාවෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ලැබුණු ලිපියක් මුල්කොට ගනිමිනි. උතුරු කොරියා රජය නියෝජනය කරමින්, එම ලිපිය එවා ඇත්තේ උතුරු කොරියා පාලක පක්ෂයේ නියෝජ්‍ය නායක කිම් යොංග් චෝල්ය.

උතුරු කොරියාව එම ලිපිය හරහා තමන්ට තර්ජනය කර ඇති බවත්, චෝදනා කර ඇති බවත් ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් කියයි. ‘හොඳ හිත පවත්වා ගෙන යෑමට අවශ්‍ය නිසා අපි දකුණු කොරියාව සමඟ පවත්වන යුද අභ්‍යාස නැවැත්තුවා. උතුරු කොරියාව ගැන විශ්වාසය තැබීමට අමාරුයි. ඔවුන්ගේ තර්ජනවලට අප යටත් වෙන්නේ නැහැ. ඉදිරියේ දී යළිත් වරක් යුද අභ්‍යාස පැවැත්වීමට අප සූදානම් වෙනවා’ යැයි ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටී.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ එම ඓතිහාසික හමුව පැවැත් වූයේ පසුගිය ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදීය. එහිදී පොදු එකඟතා කිහිපයක් ඇති කර ගැණින. කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට තමන් පියවර ගන්නවා යැයි උතුරු කොරියා නායකයා ට‍්‍රම්ප්ට පොරොන්දුවක් ද දුන්නේය.

(රොයිටර්)


RECOMMEND POSTS