මැලේසියාවේ පාසලක ගින්නක්



මැලේසියාවේ ඉස්ලාමීය නේවාසිකාගාර පාසලක අලුයම ගින්නක් හටගැනීමෙන් 24 දෙනෙක් ඊට බිලි වූහ.

ගින්න හටගත්තේ ඊයේ අලුයම 5.40 ට පමණ ක්වාලාලාම්පූර් නුවර ‘තහ්ෆීස් ඩරුල් කුරාන් ඉටිෆාකියා’ ඉස්ලාමීය පාසලේ නේවාසිකාගාරයේ උඩුමහලේය. ගින්නට හසුවීමෙන් මියගිය 24 දෙනාගෙන් විසි දෙදෙනකු අවුරුදු 13 ත් 17 ත් වයස්වල පිරිමි දරුවන්ය. මියගිය අනෙක් දෙදෙනා ගුරුවරුන් යැයි පැවැසෙයි.

වසර 20 කට පමණ පසු මැලේසියාවේ සිදුවුණු දරුණුතම ගිනි අනතුර මෙය යැයි පැවැසෙයි. ගින්න පිළිබඳ දැනගත් සැණින්, ගිනි නිවන භටයෝ වහා ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමට පැමිණිය ද ඒ වනවිටත් මහා විනාශයක් සිදුවී හමාරය.

ගින්නට කොටුවුණු දරුවන් සහ ගුරුවරුන් දෙදෙනා නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ජනේලවලින් පිටතට පැන ගැනීමට වෙර දරා ඇතැයි ද පැවැසෙයි. කෙසේ නමුත් නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ජනේලවලට යකඩ පොලු සවි කර තිබූ බැවින් ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වී තිබේ. නේවාසිකාගරයෙන් පිටවීමට තිබී ඇත්තේ එක් දොරක් පමණක් පමණි.

ගින්නට හසුවුණු එම 24 දෙනාගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි අයුරින් පිළිස්සී ඇතැයි ක්වාලාලාම්පූර් පොලිස් ප්‍රධානී අමාර් සිං මාධ්‍ය හමුවේ පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS