මැතිවරණයෙන් පස්සේ කිම් ජොන් උන් හමුවෙනවා



ඇමෙරිකාවේ මධ්‍ය වාර මැතිවරණය ලබන නොවැම්බර් 6 වැනිදා පැවැත්වීමට නියමිත හෙයින්, එම මැතිවරණයෙන් පසු තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවන බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේය.

ට්‍රම්ප් මේ බව කියා සිටියේ, මැතිවරණ රැලියක් අතරතුරේදීය. ‘මේ වෙලාවේ රටින් පිටවන්න විදියක් නැහැ. මැතිවරණ කටයුතුවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවන දෙවැනි සමුළුව මැතිවරණයෙන් පසු පැවැත්වේවි’ යැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර පළමු හමුව පැවැත්වූයේ පසුගිය ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදීය. එම හමුව සාර්ථක වුණු බව ට්‍රම්ප් පැවැසීය. උතුරු කොරියා නායකයා මේ වනවිට සාමයට කැපවී සිටින අතර, න්‍යෂ්ටික අවිහරණ කටයුතු සඳහා ද කැමැත්ත පළ කර තිබේ.

එම පළමු හමුවේ දී ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියා නායකයාට කියා සිටියේ, න්‍යෂ්ටික කටයුතු නවත්වා, න්‍යෂ්ටික අවිහරණයක් කරන්නේ නම්, ඇමෙරිකාව උතුරු කොරියාවට පැනැවූ සම්බාධක ලිහිල් කිරීමටත් පසුව ඉවත් කිරීමටත් බලාපොරොත්තු වන බවය.

‘උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාකච්ඡා මේසයට ගේන්න මට හැකියාව ලැබුණා. අප දෙදෙනාට තව බොහෝ දුරක් යන්න තියෙනවා. ලෝකයට සාමය ගේන්න මමත් උතුරු කොරියා නායකයාත් එක් වී කටයුතු කරනවා’ යැයි ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS