මැතිවරණ කොමිසමේ නිලධාරියකු නෙරපයි



පසුගිය තුන් වැනිදා පැවැත්වුණු ජනාධිපතිවරණය, ඇමෙරිකන් ජනාධිපතිවරණ ඉතිහාසයේ සුරක්ෂිතම ජනාධිපතිවරණය ලෙස හඳුන්වා දුන් එරට මැතිවරණ කොමිසමේ ඉහළ නිලධාරියකු සේවයෙන් නෙරපා හැරීමට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

ජනාධිපති ට්‍රම්ප් විසින් සේවයෙන් නෙරපා දමනු ලැබුවේ ඇමෙරිකන් මැතිවරණ කොමිසමේ සයිබර් ආරක්ෂක සහ යටිතල පහසුකම් ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ක්‍රිස් ක්‍රෙබ්ස්ය.

ජනාධිපති ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගැනීමට නොහැකි බව පවසමින් එය අභියෝගයට ලක් කරමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි අධිකරණයේ සහාය පැතූ අවස්ථාවේදී, ඇමෙරිකන් මැතිවරණ කොමිසමේ සයිබර් ආරක්ෂක සහ යටිතල පහසුකම් ආරක්ෂක ඒජන්සියේ ට්‍රම්ප් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් පැවැත්වීය.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් චෝදනා කරන ආකාරයේ හොර ඡන්ද දැමීමක්, පරිගණකවලට ඇතුළත් කළ ඡන්ද මකා දැමීමක් හෝ වෙනත් අක්‍රමිකතාවක් සිදුවුණු බවට කිසිදු සාක්ෂියක් නොමැති බව විමර්ශන අවසන් කරමින් ක්‍රිස් ක්‍රෙබ්ස් පැවැසුවේය.

ඡන්ද අක්‍රමිකතා සිදුවුණු බවට ට්‍රම්ප් චෝදනා කිරීමෙන් පසු ඇමෙරිකන් නීතිපතිවරයා ලබා දී ඇති නියෝග අනුව ජෝර්ජියා ජනපදයේ ඡන්ද ගණන් කිරීම යළි සිදුවිය. ඡන්ද ගණන් කිරීම සිදුවූයේ පරිගණකයෙන් නොව අතිනි. එහිදී පළමු අවස්ථාවේ ගණන් නොකළ ඡන්ද දහස් ගණනක් ට්‍රම්ප්ට හිමිවිය. පෙන්සිල්වේනියා ජනපදයේ ද යළි ඡන්ද ගණන් කිරීමක් සිදු වෙමින් පවතී.

ජනාධිපතිවරණයේ දී ට්‍රම්ල්ගේ ප්‍රතිවාදියා වූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන්ය. මේ වනවිට බයිඩන් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස නම් කර තිබේ. ඊට හේතුව ඔහු ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන නියමිත ‘ඡන්ද ගණ’ ප්‍රමාණය වන 270 පසු කිරීමය.

කෙසේ නමුත් ජනාධිපතිවරණයේ යළි ඡන්ද ගණන් කිරීම් සිදුවන බැවින්, නිල වශයෙන් ප්‍රතිඵල නිකුත් වී නැත. ඒ අනුව, බයිඩන් ජයග්‍රාහකයා යැයි නිල වශයෙන් නිවේදනය කර නැති බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

ජෝර්ජියාවේ ඡන්ද යළිත් වරක් ගණන් කිරීමේදී ය්‍රම්ප්ට වාසිදායක තත්ත්වයකන් උදා වී ඇතත්, ‘ඡන්ද ගණ’ 270 පසු කර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට එය ප්‍රමාණවත් නොවන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ජෝර්ජියාවේ ඡන්ද ගණනය කිරීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුවී ඇති බව ද මෙයින් පැහැදිලි වන බව දේශපාලන විශ්ලේෂකයෝ වැඩිදුරටත් කියා සිටිති. ජනපති ට්‍රම්ප් ක්‍රිස් ක්‍රෙබ්ස් වහා සිය ධුරයෙන් නෙරපා දැමීමට තීරණය කළේ මෙම අවස්ථාවේදීය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS