මාධ්‍යවේදීන් දෙදෙනා වසර 7 ක් හිරේ



මියන්මාර රජයේ රහස් හෙළි කළේ යැයි චෝදනාවලට වරදකරුවන් වූ ‘රොයිටර්ස්’ පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනාට මියන්මාර අධිකරණයක් සත් වසරක සිර දඬුවම් නියම කළේය.

වා ලෝන් (32) සහ ක්යාව් සෝ  ඕ (28) නමැති මෙම මාධ්‍යවේදීන් දෙදෙනා මියන්මාර ජාතිකයන්ය. මියන්මාර රජය මොවුන් අත්අඩංගුවට ගත්තේ පසුගිය වසරේ දෙසැම්බරයේය.

රාජ්‍ය රහස් ලොවට හෙළි කළේ යැයි මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබුණු අතර, ඊටේ පැවැති නඩු විභාගයේදී ඔවුන් එම චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් විය.

සුළු ජාතික රොහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට එරෙහිව මියන්මාරයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වූයේ පසුගිය වසරේදීය. මේ වනවිට ලක්ෂ 7 කට ආසන්න රොහින්ග්‍යා වැසියෝ පිරිසක් ගැටුම්වලින් බේරී බංග්ලාදේශ දේශසීමාව අසල සරණාගත කඳවුරුවල ජීවත් වෙති.

රකීන් පළාතේ උතුරු දෙසින් පිහිටි ඉන් ඩින් නමැති ගම්මානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් වා ලෝන් සහ ක්යාව් සෝ  ඕ මාධ්‍යවේදීන් දෙදෙනා විමර්ශනයක් පවත්වා ඇත. එහිදී සාක්ෂි ලැබී ඇත්තේ මියන්මාර හමුදාව රොහින්ග්‍යා වැසියන් 10 දෙනකු මියන්මාර හමුදාව විසින් ඝාතනය කරනු ලැබූ බවය. එම පුවත ප‍්‍රසිද්ධ වීමත් සමඟ මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගැණින.

(රොයිටර්ස්)


RECOMMEND POSTS