මදුරෝට විශිෂ්ට ජයක්



ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවේ ජනාධිපතිවරණය  පැවැත්වුණු අතර, යළිත් වරක් විශිෂ්ට ජනවරමක් හිමි කර ගැනීමට, අභාවප්‍රාප්ත වෙනිසියුලා අසහාය නායක හියුගෝ චාවේස්ගේ අනුප්‍රාප්තික නිකලොස් මදුරෝ සමත් වී සිටී.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සහ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවිය. සියයට 90 ක ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙද්දී, 55 හැවිරිදි මදුරෝ සහ ඔහුගේ සමාජවාදී පක්ෂය සියයට 67.7 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබුණි. මදුරෝ දිනූ ඡන්ද සංඛ්‍යාව මිලියන 5.8 කි.

වෙනිසියුලා විපක්ෂ නායික හෙන්රි ෆැල්කෝන්, ජනාධිපතිවරණය ආරම්භ වූ අවස්ථාවේ සිට චෝදනා නගන්න වූයේ නිදහස් සහ සාධාරණ ජනාධිපතිවරණයක් දකින්න නොලැබෙන බවය. වංචා සහ අක්‍රමිකතා රැසක් සිදුවුණු බවට ද ෆැල්කෝන් වැඩි දුරටත් චෝදනා කර තිබුණි. ඡන්ද ප්‍රතිඵලය තමන් පිළි නොගන්නා බව ද හෙතෙම පවසා ඇත.

වෙනිසියුලා මැතිවරණ කොමසාරිස්වරිය ටිබිසේ ලුසේනා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ සිටියේ විපක්ෂ නායක ෆැල්කොන් සියයට 21.2 (මිලියන 1.8ක) ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති බවය.

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ මෙම වසරේ දෙසැම්බරයේය. කෙසේ නමුත් වෙනිසියුලා ජාතික ව්‍යවස්ථා මණ්ඩලයෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වුණු බැවින් එය පෙරේදා (21) පැවැත්වීමට කටයුතු යෙදුණි.
චාවේස්ගේ අභාවයෙන් පසු, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස මදුරෝ වෙනිසියුලාවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2013 වසරේදීය. මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමත් සමඟ මදුරෝ තවත් සය වසරක කාලයක් වෙනසියුලාවේ ජනාධිපති ලෙස කටයුතු කරනු ඇත.

මදුරෝගේ පාලනය යටතේ වෙනිසියුලාව අර්බුද රැසකට මුහුණ දී සිටී. දරිද්‍රතාව ඉහවහා ගොස් ඇත. රටේ බලශක්ති අර්බුදයක් ද පවතී. රට වැසියන් බොහොමයක් විදුලිය නැතිව පීඩා විදිති. බලශක්ති අර්බුදය හේතුවෙන් වැඩ කරන පැය ගණන අඩු කිරීමට ද වෙනිසියුලා රජයට සිදුවී ඇත.

වෙනිසියුලා විපක්ෂ ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීමෙන් පසුගිය කාලය පුරාවට රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්විණි. ඒවා දළදඬු ලෙස මර්දනය කළේ යැයි වෙනිසියුලා ජනාධිපතිට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් චෝදනා එල්ල විය. විපක්ෂය මර්දනය කිරීම හේතුවෙන් වෙනිසියුලාවට ආර්ථික සම්බාධක පැනැවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS