මට එන්නත් ඕනෑ නෑ



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට නිපදවන කිසිදු එන්නතක් තමන් කිසිම අවස්ථාවක ලබා නොගන්නා බව බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ කියයි.

බ්‍රසීල වැසියන් වෙනුවෙන් එන්නත් මිලදී ගැනීමක් රජය සිදු කරනු ඇති නමුත්, එන්නත ලබා ගැනීම කැමැති අයට පමණක් කළ හැකි යැයි ද බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ වැඩිදුරටත් පවසා ඇත.

බ්‍රසීල ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම වැළැක්වීමට යැයි පවසමින් නිපදවන එන්නත් කෙරෙහි තමාගේ විශ්වාසයක් නොමැති බවය.

ලොව දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බ්‍රසීලයෙනි. කොරෝනා ආසාදිතයන් අතින් බ්‍රසීලය ඇත්තේ ලොව තෙවැනි ස්ථානයේය. ඒ, ඇමෙරිකාවට සහ ඉන්දියාවට පසුපසිනි.

බ්‍රසීල දක්ෂිණාංශික ජනාධිපති බොල්සරානෝ ද කොවිඩ් 19 ආසාදිතයකු වී වෛද්‍ය අධීක්ෂණය යටතේ සති කීපයක් නිරෝධානයට ලක් වී සිට සුවය ලැබූ අයෙකි. ඒ නිසාම, ඔහු මේ වනවිට බ්‍රසීල වැසියන් අතරේ යළිත් ජනප්‍රිය වෙමින් සිටින බව ජනමත සමීක්ෂණවලින් පෙන්නුම් කෙරේ.

බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරන්නෙකු වන අතර, වයිරසය ගැන හෝ සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීම ගැන හෝ කිසිදු තැනීමක් කරන්නේ ද නැත. බොල්සරානෝ පමණක් නොව, ඔහුගේ බිරිඳ ද කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ බව වාර්තා විය.

බ්‍රසීලියාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS