මඟුලට සියල්ල සූදානම්



හැරී කුමරු සහ මේගන් මාකෙල්ගේ විවාහ මංගල්‍යය අද (19) පැවැත්වෙයි.

විවාහ මංගල්‍යයෙන් පසු හැරී කුමරු සහ ඇමෙරිකන් ටෙලි නිළි මේගන් මාකෙල්, සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් හැඳින්වෙනු ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කර ඇත.

විවාහ මංගල්‍යය පැවැත්වෙනු ඇත්තේ වින්ඞ්සෝර් හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේය. අමුත්තන් 600 ක් වෙනුවෙන් එහි ආසන වෙන් කර ඇත.

මේගන් මාකෙල්ගේ ‘සූට්ස්’ රූපවාහිනී කතා මාලාවට සම්බන්ධ නළු නිළියන් ද ඇතුළු හොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන්, ජනප්‍රිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා අමුත්තන් අතරේ සිටින බව පැවැසෙයි.

ජනප්‍රිය බොලිවුඞ් නිළියක මෙන්ම, මේගන් මාකෙල්ගේ සමීප යෙහෙළියක ද වන ප්‍රියංකා චොප්රා පවා ආරාධනා ලැබී දෙව් මැදුරට පැමිණෙන අමුත්තන් අතරේ සිටින බව පැවැසෙයි.

ටෙනික් ක්‍රීඩිකා මෙන්ම මේගන්ගේ යෙහෙළියක වන සෙරිනා විලියම්ස් පමණක් නොව,ඔපෙරා වින්ෆි, ජෝර්ජ් ක්ලූනි සහ බිරිඳ අමල් ද සිටින බව පැවැසෙයි.

දෙව් මැදුර සුදු පැහැති රෝසමල්වලින් අලංකාර කර ඇති බව ද කෙන්සින්ටන් මාලිගය නිකුත් කළ ඡායාරූපවලින් දකින්න ලැබේ. සුදු පැහැ රෝසමල් යොදා ගෙන ඇත්තේ ඒවා, හැරී කුමරුන්ගේ මව ඩයනා කුමරියගේ ප්‍රියතම මල් වර්ගය නිසාය.

ඩයනා කුමරියගේ ස්පෙන්සර් පවුලේ ඥාතීන් සැමට හැරී කුමරු විසින් ආරාධනා යවනු ලැබ ඇත.

(ඬේලිමේල් ඇසුරිනි)
 

 


RECOMMEND POSTS