මගෙන් අභියෝගයක් නෑ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට තමාගෙන් අභියෝගයන් නැති බවත්, 2020 ඇමෙරිකා ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වීමට තමාගේ කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපති ධුරයෙන් ඉල්ලා අස්වුණු නිකී හේලී පවසා ඇත.

46 හැවිරිදි නිකී හේලි, ඉන්දීය සම්භවයක් ද සහිත ඇමෙරිකානු කාන්තාවකි. ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රබල සාමාජිකාවක ලෙස ඇය වසර දෙකක් පුරාවට එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපති ධුරය හෙබවූවාය.

එක්සත් ජාතීන්ගේ තානාපති ධුරයට පත් වීමට පෙර නිකී හේලි දකුණු කැරොලීනා ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළාය. මැය  ප්‍රබල රිපබ්ලිකන් පාක්ෂිකාවක වන අතර,  ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ ද ගෞරවයට පාත්‍ර වූ තැනැත්තියකි.
ධවල මන්දිරය විසින් නිකී හේලි එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව හදිසියේ නිවේදනය කරනු ලැබුවේය. එම නිවේදනයෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ නිකී හේලි එක්වී ධවල මන්දිරයේදී මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ.

ඉතා වෙහෙසකර දේශපාලන ගමනකින් පසු, තමන් ටික කාලයක් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කළ බව එම අවස්ථාවේදී නිකී හේලි පැහැදිලි කළාය. දේශපාලනයෙන් සමු ගැනීමට තමන් තීරණය කළේ හදිසියේ නොවන බවත් මෙම වසරේ ජනවාරියේ තමන් ඒ බව ජනාධිපති ට්‍රම්ප්ට දැනුම් දුන් බවත් නිකී හේලි කියා සිටියාය.

එම අවස්ථාවේදී ජනාධිපති ට්‍රම්ප් ඇය අසලට වී ඒ සියල්ල අනුමත කළේය. නිකී හේලිගේ ඉල්ලා අස්වීම තම පරිපාලනයට විශාල පාඩුවක් බව ජනාධිපති ට්‍රම්ප් පැවැසීය. කෙසේ නමුත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, නිකී හේලිගේ ඉවත්වීම හදිසියේ සිදුවුණු බවය. දේශපාලනයෙන් ඉවත් වීමට ඇය සූදානමින් සිටියේ නම්, මෙම වසර අවසානයේ දී ඇයට එය කළ හැකිය තිබුණැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙම වසර අවසන් වෙද්දී ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙයි. එම මැතිවරණය පැවැත්වෙන්නේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය උරගා බැලීම සඳහාය. මෙම වසර අවසන් වීමට මාස කීපයක් පමණක් ඉතිරිව තිබියදී, නිකී හේලිගේ ඉල්ලා අස්වීම ගැන ‘සැකයක්’ මතුවන බව ඇමෙරිකානු දේශපාලන විශ්ලේෂකයෝ වැඩි දුරටත් කියා සිටිති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS