භූමි කම්පා මාලාවකින් තායිවානය කැළැඹේ



ප්‍රබල භූමි කම්පාවකින් සහ ප්‍රබල පසු භූ කම්පන කිහිපයකින් තායිවාන දූපත් රාජ්‍යය අලුයම කැළැඹිණි. භූමි කම්පාව හේතුවෙන් මියගිය ගණන 4 ක් බවත්, 225 ක් තුවාල ලබා ඇති බවත් තායිවාන රජය කියයි.

භූමි කම්පාවෙන් දරුණු හානි සිදුවී ඇත්තේ ‘හූලියන්’ නමැති වෙරළාශ්‍රිත සංචාරක නගරයටය. මෙම නගරය දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රකටය. භූමි කම්පාව හටගනිද්දී විදේශිකයෝ රැසක් ද නගරයේ හෝටල්වල සිටියහ.

භූමි කම්පාව හටගත්තේ මෙම නගරයේ සිට කිලෝ මීටර් ගණනාවකත් උතුරිනි. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 22 ක් පොළොව පතුළේ ඇති බව භූ විද්‍යාඥයෝ කියති.

හූලියන් නගරයේ ජනගහනය ලක්ෂයක් පමණි. නගරය කැළැඹූ ප්‍රබල භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළේය. ඉන්පසු හටගත් අතුරු භූමි කම්පා රික්ටර් පරිමාණයේ ඒකක 5 ත් 6 ත් අතර අගයන් සටහන් කළ බව පැවැසෙයි.

භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය. කඩා වැටුණු නිවාස සහ ගොඩනැගිලිවල සිරවී අතුරුදන් වුණැයි පැවැසෙන ගණණ 145 කි. සිරවුණු පිරිස් සෙවීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ විය.

ප්‍රධාන භූමි කම්පාවෙන් කම්පනයටත් පත් නගර වැසියන් සහ විදේශිකයන් නිවාසවලින් සහ ඔවුන්ගේ හෝටලවලින් පිටතට පැමිණ බියෙන් රැය පහන් කළේ යැයි වාර්තා වේ.

විනාශ වුණු නිවාස සහ ගොඩනැගිලි ගණන 500 කට වැඩි යැයි තායිවාන මාධ්‍ය වාර්තා කරයි. නගරයට යන එන මාර්ග සියල්ල පාහේ ඉරි තලා අබලන් වී ඇති අතර, විදුලි බල සැපැයුම්වලට ද හානි සිදුවී තිබේ. තායිවාන බලධාරීන් නිවේදනය කළේ 40,000 කට විදුලි බලය නොමැති බවය. 1,900 ක පිරිසක් ජලය නොමැතිව පීඩා විඳිති.

භූමි කම්පාවෙන් විපතට පත්වූවන් ගැන සොයා බැලීමට තායිවාන ජනාධිපතිනී තායි ඉන්ග් වෙන් යූලියන් නගරයේ සංචාරයක යෙදුණාය. සහන සේවා කටයුතු සිදුවන ආකාරය ඇය අධීක්ෂණය කළාය. නිවස අහිමිවුණු පිරිස් මේ වනවිට ප්‍රජාශාලා, පාසල් සහ සහන සේවා කඳවුරුවල රැඳී සිටින බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS