බෝම්බ ප්‍රහාරයකින් නූලෙන් බේරෙයි



වසරකට වැඩි කාලයක් තුර්කියේ රැඳී සිටි, ඇෆ්ගන් උප ජනාධිපති අබ්දුල් රෂීද් දොස්තම් යළි ඇෆ්ගනිස්තානය බලා පැමිණියේය.

කාබුල් අගනුවර ගුවන් තොටුපොළේ දී ඔහුට ඔහුගේ ආධාරකරුවන්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ඉන්පසු විශේෂ ආරක්ෂාවක් යටතේ රිය පෙරහරකින් කාබුල් නුවර හරහා ගමන් කරද්දී, රිය පෙරහරට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

බෝම්බ ප්‍රහාරයට එල්ල වූයේ නගර චතුරස්‍රය පසු කරමින් ගමන් කළ අවස්ථාවේදීය.  ප්‍රහාරයට හසුවීමෙන් දොස්තම්ගේ ආධාරකරුවන් ද ඇතුළු 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

කෙසේ නමුත් උප ජනාධිපතිවරයාට කිසිදු අනතුරක් සිදු නොවිණි. මියගිය 14 දෙනා අතර, ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයෝ ද වෙති. දොස්තම් සිට ඇත්තේ වෙඩි නොවදින රථයක බව ද ඇතැම් ඇෆ්ගන් පුවත් සේවා වාර්තා කර තිබේ.

ප්‍රහාරයේ වගකීම ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට ත්‍රස්තවාදීන් විසින් බාර ගනු ලැබ ඇති බව ද පැවැසෙයි.

උස්බෙකිස්ථාන සම්භවයක් ඇති අබ්දුල් රෂීද් දොස්තම් හමුදා නායකයෙකි. ඔහුගේ සහචරයන් ලවා, දේශපාලන ප්‍රතිවාදීන් පැහැරගෙන ගිය බවටත්, කාන්තාවන් දූෂණය කළ බවටත් මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. දොස්තම්, එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. ඔහු සිය කැමැත්තෙන්ම රටින් පිටවී,ත තුර්කියේ රැඳී සිටියේ එම චෝදනා මුල්කොට ගනිමිනි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS