බුර්කිනා ෆාසෝ අවන්හලකට ප්‍රහාරයක්



බටහිර අප්‍රිකාවට අයත් බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ අවන්හලකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් 17 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලබා රෝහල් ගත කළ ගණන 12 කි.

ප්‍රහාරය එල්ල වූයේ බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ ඔගාඩොගෝ අගනුවර ‘ඉස්තාන්බුල්’ නමැති තුර්කි අවන්හලටය. අවන්හල පිහිටි ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විතය.

මෙය විදෙස් සංචාරකයන් අතරේ ද ප්‍රසිද්ධියට පත් අවන්හලකි. මියගිය සහ තුවාල ලැබූවන් අතර විදේශිකයෝ ද වෙති.

තුර්කි රජයට විරෝධය පෑමක් ලෙස ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි අනුමාන කෙරේ. ප්‍රහාරය සඳහා තුවක්කුකරුවෝ තිදෙනෙක් අවන්හලට කඩා වැදුණාහ.

ඔවුන් පැමිණ ඇත්තේ ඩබල් කැබ් රථයකිනි. ත්‍රස්තයන් අවන්හලට කඩා වැදී වෙඩි තබද්දී, බුර්කිනා ෆාසෝ හමුදාව සහ පොලිසිය වහා ක්‍රියාත්මක වී අවන්හල වට කළේ යැයි වාර්තා විය.

එම අවස්ථාවේදී ත්‍රස්තයන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් අතරේ දරුණු අවි ගැටුමක් හටගත්තේය. පැය කිහිපයක් තිස්සේ වෙඩි හුවමාරු පැවැති බව වාර්තා විය.

වෙඩි හුවමාරුව මැද අවන්හලේ කොටුවී සිටි තවත් 11 දෙනකු ආරක්ෂිතව පිටතට ගැනීමට පොලිසිය සමත් වුණැයි බුර්කිනා ෆාසෝ රජය පසුව නිවේදනය කළේය. ආරක්ෂක අංශ අවන්හල පිහිටි ගොඩනැගිල්ල වට කළ අවස්ථාවේදී ත්‍රස්තයෝ පළමු සහ දෙවැනි මහලේ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගත් බව ද වාර්තා විය.

ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති නැති අතර ප්‍රහාරයේ වගකීම ද කිසිදු සංවිධානයක් විසින් බාර ගනු ලැබ නැතැයි ද වාර්තා වේ. බුර්කිනා ෆාසෝ රජය කියා සිටියේ ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් අවන්හලට කඩා වැදුණු ත්‍රස්තවාදීන් තිදෙනා මියගිය බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS