බින් ලාඩන් පුතා මැරුණු බව ස්ථිරයි



ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ සිදුකළ ත්‍රස්ත මර්දන මෙහෙයුමකදී අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුතකු වන හම්සා බින් ලාඩන් මරා දැමීමට ඇමෙරිකන් හමුදා සමත්වූ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තහවුරු කළේය.

ඇමෙරිකා හමුදා මෙහෙයුමකදී හම්සා බින් ලාඩන් ඝාතනය වූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ පසුගිය ජූලි මාසයේදීය. ඒ, බුද්ධි වාර්තා උපුටා දක්වමිනි. කෙසේ නමුත්, ඒ බව නිල වශයෙන් තහවුරු කිරීම ඊයේ (14) ධවල මන්දිරයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබුණි.

ඔසාමා බින් ලාඩන්ගේ ඝාතනයෙන් පසු, ඇමෙරිකාවෙන් පළිගන්නා බවත්, ඇමෙරිකන් ඉලක්කවලට පහර දෙන බවටත් හම්සා බින් ලාඩන් පසුගිය වසර කීපයේ හඬපට නිකුත් කරමින් තර්ජනය කර තිබුණි. ඇමෙරිකා බුද්ධි අංශ හම්සා බින් ලාඩන් හඳුනාගෙන ඇත්තේ නැගී එන අල් කයිඩා නායකයකු ලෙස යැයි ද පැවැසෙයි. ඔහු සොයා ඝාතනය කිරීම ඒ අනුව සිදුවිය.

2001 සැප්තැම්බර් 9 වැනිදා ඇමෙරිකාවට අල් කයිඩාව පහර දුන්නේ ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වය යටතේය. එම ප්‍රහාරයෙන් පසු බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ සැඟවිණි. ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ ඒ අනුවය.

වසර ගණනාවකට පමසු ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශය සිදු කළ පරීක්ෂණවලින් හෙළි වූයේ ඔසාමා බින් ලාඩන් පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර නිවසක සැඟවී ජීවත් වන බවය. ඒ අනුව ඇමෙරිකන් නේවි සීල් භටයන් මෙහෙයුමක් ඇරඹීය. 2011 දී ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණි. බින් ලාඩන්ට දරුවන් 20 දෙනෙකි. 30 හැවිරිදි හම්සා බින් ලාඩන් බින් ලාඩන්ගේ තෙවැනි බිරිඳගේ දරුවෙකි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS