බ්‍රිතාන්‍ය අගමැති යළිත් නිරෝධායනයේ



බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ස්වයං නිරෝධානයට යොමු කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

වෛද්‍ය උපදෙස් අනුව, මේ වනවිට තමන් ඩවුනින් වීදියේ අංක 10 නිල නිවසේ හුදෙකලා වී සිටින බවත්, රාජකාරි කටයුතු නිවසේ සිට සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ජොන්සන් පවසා තිබේ.

පසුගිය සතියේ, අගමැති නිල නිවසේ දී, අගමැති ජොන්සන් මන්ත්‍රීවරුන් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීය. සාකච්ඡා සඳහා සහභාගී වූ මන්ත්‍රීවරුන් කිසිවකු මුහුණු ආවරණ පැලඳ සිට නැත. එම මන්ත්‍රීවරුන් අතරේ සිටි එක් මන්ත්‍රීවරයකු වන ලී ඇන්ඩර්සන්, කොරෝනා ආසාදිතයකු යැයි හඳුනා ගත් බැවින්, අගමැති ජොන්සන් ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් ස්වයං නිරෝධායනයට යොමු කළ බව වෛද්‍යවරුන් පවසා තිබේ.

ලී ඇන්ඩර්සන් (දකුණේ) අගමැති ජොන්සන්ගේ සමීතම හිතවතෙක් ද වෙයි.

මහා බ්‍රිතාන්‍යය කොරෝනා පළමු රැල්ලෙන් බැටකද්දී, 56 හැවිරිදි අගමැති ජොන්සන් ද ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු විය. ඒ, පසුගිය අප්‍රේල් මාසයේය. එම අවස්ථාවේදී ස්වසන අපහසුතා හටගත් බැවින්, අගමැතිවරයා දින තුනක් දැඩි සත්කාර ඒකකයේ තැබීමට ද වෛද්‍යවරු කටයුතු කළහ.

මේ වනවිට මහා බ්‍රිතාන්‍යය කොරෝනා දෙවැනි රැල්ලට මුහුණ දී සිටී. වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ලබන දෙසැම්බර් පළමු වැනිදා තෙක් රට ලොක්ඩවුන් කිරීමට ද අගමැති ජොන්සන් පියවර ගෙන ඇත. මේ වනවිට මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 69,000 පසු කර තිබේ.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS