බ්‍රසීලයේ නව ජනපති බොල්සරානෝ ඇමෙරිකා යයි



සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින්, බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික නව ජනාධිපති ජායිර් බොල්සරානෝ ඇමෙරිකාවට පැමිණි අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඔහුට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ධවල මන්දිරයේ දී ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ජනපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි එම අවස්ථාවේදී බ්‍රසීල ජනපති බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායමේ ජර්සියක් ට්‍රම්ප්ට තිළිණ කළේය. ජනපති ට්‍රම්ප් ඇමෙරිකන් පාපන්දු කණ්ඩායමේ ජර්සියක් බොල්සරානෝට තිළිණ කළේය.

සුහඳ සාකච්ඡාවකින් පසු, ජනපතිවරු දෙදෙනා එක් වී මාධ්‍ය හමුවක් පැවැත්වූහ. එහිදී ජනපති ට්‍රම්ප් කියා සිටියේ, බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ යහපත් තැනැත්තකු බවත්, මෙම හමුවෙන් පසු බ්‍රසීලය සහ ඇමෙරිකාව අතර පවතින මිතුදම් ශක්තිමත් වුණු බවත්ය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට තමන් සැමවිටම ගරු කරන බවත්, ඔහු සැබැවින්ම විශිෂ්ට නායකයකු බවත් බොල්සරානෝ අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේ පවසා ඇත.

බොල්සරානෝ විශ්‍රාමික හමුදා කපිතාන්වරයෙකි. 2018 වසරේ බ්‍රසීල ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළේ ට්‍රම්ප් 2016 වසරේ දී මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ අයුරිනි. බ්‍රසීල ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, බොල්සරානෝට ට්‍රම්ප් හමුවන්න ලැබුණු පළමු අවස්ථාව මෙයයි.

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝවේ සාමාජිකත්වය හිමිවූ එකම ලතින් ඇමෙරිකා රාජ්‍යය කොලොම්බියාවය. නේටෝ සාමාජික රටක් නොවුණත් බ්‍රසීලය, නේටෝව සමඟ සමීප සබඳතා පවත්වයි. ඇමෙරිකාව ද නේටෝ සාමාජිකයෙකි. ඇමෙරිකාව සහ බ්‍රසීලය අතර හමුදාමය වශයෙන් ද සහයෝගීතාවක් පවතී. ඒ ගැන ද ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළේය.

බ්‍රසීලය නේටෝ සාමාජිකයකු වුවත් නැතත්, බ්‍රසීලයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව ලැබෙනු ඇති බවත්, බ්‍රසීලයේ සහාය ද ඇමෙරිකාවට නොඅඩුව ලැබෙනු ඇති බවත් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේය. ජනපති බොල්සරානෝ ‘එක පයින්’ එය ස්ථිර කළේ කළ බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS