බ්‍රසීල වැසියන්ට කොරෝනා එන්නත් දෙකක්



බ්‍රසීල ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය පරිදි, බ්‍රසීල වැසියන්ට ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් ඊයේ (17) සිට ලබා දීම ආරම්භ විය.

බ්‍රසීලයේ ඖෂධ පාලන අධිකාරිය වන ‘ඇන්විසා’ එන්නත් ලබා දීමට අනුමැතිය ලබා දී ඇත්තේ, වයිරස වසංගතය හේතුවෙන් හදිසි තත්ත්වයක් සේ සලකමිණි.

ඇමෙරිකාවට පසු ලොව දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීලය ලතින් ඇමෙරිකා කලාපයට අයත් රාජ්‍යයකි.

ඊයේ (17) වනවිට බ්‍රසීලයෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 8,488,099 ක් වන අතර මරණ වාර්තා වන්නේ 209,863 කි.

බ්‍රසීල සෞඛ්‍ය අමත්‍යාංශය මැදිහත් වී මිලදී ගෙන බ්‍රසීල වැසියන්ට ලබා දෙන්නේ චීනයේ ‘සිනොවැක් බයෝටෙක්’ ප්‍රතිශක්තිකරණ එන්නත සහ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ සමාගම සමඟ එක් වී නිපදවූ එන්නතය.

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ එන්නත මෙන් නොව, මෙම එන්නත් ගබඩා කිරීම පහසුවෙයි. බ්‍රසීලය වැනි නිවර්තන කලාපීය රටවලට යෝග්‍ය වන්නේ ‘සිනොවැක් බයෝටෙක්’ සහ ‘ඇස්ට්‍රාසෙනකා’ එන්නත්ය.

බ්‍රසීලියාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS