බ්‍රසීල ජනපතිට නිව්මෝනියාව



බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ, නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව එරට පුවත් සේවා වාර්තා කරයි.

63 හැවිරිදි බොල්සරානෝ, බ්‍රසීලයේ ජනාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කළේ පසුගිය ජනවාරි පළමු වැනිදාය. නිව්මෝනියා ආසාදන තත්ත්වයෙන් ජනාධිපතිවරයා පීඩාවට පත් ව සිටින බව අනාවරණය වී ඇත්තේ පසුගිය බදාදා ය. ඒ, ජනපතිවරයාට උණ වැළැඳීමෙන් පසුවය.

එම අවස්ථාව වෙද්දී ද ජනාධිපතිවරයාට සිට ඇත්තේ රෝහල්ගතවය. එහෙයින්, වෛද්‍යවරුන් නිව්මෝනියා ආසාදන තත්ත්වයට එරෙහිව අදාල ප්‍රතිජීවක ලබා දීමට යුහුසුළු වූ බව පැවැසෙයි.

බ්‍රසීලයේ ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය ඔක්තෝබරයේදීය. ඊට පෙර, සැප්තැම්බර් 7 වැනිදා, බොල්සරානෝ විපක්ෂ අපේක්ෂකයා ලෙස මැතිවරණ රැළියකට සහභාගී වී, ජනතාව අතැට ගිය අවස්ථාවකදී, කිසියම් අයකු බොල්සරානෝගේ උදරයට පිහි ප්‍රහාරයක් එල්ල කළේය.

එම පිහි ප්‍රහාරයෙන් ඔහුගේ බඩවැල්වලට හානි සිදුවිය. කඩිණමින් රෝහල් ගත කළ බොල්සරානෝ, ජනාධිපතිවරණය පැවැත්වෙද්දී පවා සිටියේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමිනි.

බඩවැල්වලට සිදුවුණු තුවාල නිසා මළ පිටකිරීම පහසු කිරීමට විශේෂිත කුඩා ‘මල්ලක්’ බඩවැල්වලට සම්බන්ධ කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළේය.

ඒ ‘මල්ල’ ඉවත් කිරීමට වෛද්‍යවරුන් සූදානමින් සිටි අතර, ඒ සඳහා පසුගිය 27 වැනිදා වෛද්‍ය උපදෙස් මත බොල්සරානෝ සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලට ඇතුළත් වී තිබේ. නිව්මෝනියා ආසාදන තත්ත්වය ඇතිවී ඇත්තේ එසේ රෝහල්ගතව සිටිද්දීය. වෛද්‍යවරුන් පවසා ඇත්තේ ලබන සඳුදා ට පෙර රෝහලෙන් පිටවීමට ජනාධිපති බොල්සරානෝට නොහැකි වනු ඇති බවය.

සාඕ පාවුලෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS