බලපෑම්වලට බය නෑ: සූ කී කියයි



රොහින්ග්‍යා මුස්ලිම් සුළු ජාතිකයන් සම්බන්ධයෙන් මියන්මාර රජය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම් සහ චෝදනාවලට තමා බිය නොවන බව මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සූ කී අවධාරණය කළාය.

අවුන් සාන් සූ කී මේ බව අවධාරණය කළේ මියන්මාරයේ අගනුවර වන නායිපායිදේව්හි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

මියන්මාර හමුදාව රොහින්ග්‍යා සුළු ජාතික මුස්ලිම්වරුන් සමූල ඝාතනය කරමින්, ඔවුන් මියන්මාරයෙන් මුලිනුපුටා දැමීමට උත්සාහ ගන්නා බවත්, අවුන් සාන් සූ කී ප්‍රමුඛ ඇගේ රජය ඒ වෙනුවෙන් කිසිදු මැදිහත් වීමක් නොකරන බවටත් ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වී ඇත.

මියන්මාර හමුදාවේ ප්‍රහාර සහ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ, ඉකුත් අගෝස්තු 25 වැනිදා සිට මේ දක්වා මියන්මාර රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් ලක්ෂ 4 කට වැඩි පිරිසක් සරණාගයන් ලෙස පණ බේරාගෙන අසල්වැසි බංග්ලාදේශයට පැමිණ සිටිති. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම බංග්ලාදේශ රජයට ද අභියෝගයක් වී ඇත.

මියන්මාර හමුදාව පෙන්වා දී ඇත්තේ ඔවුන් පහර දෙන්නේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් නියෝජනය කරන ත්‍රස්තවාදීන් සහ අන්තවාදී කල්ලිවලට කියාය.

රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ජීවත් වන්නේ මියන්මාරයේ රකීන් පළාතේය. රකීන් පළාත වෙනුවෙන් පාලනයක් අවශ්‍ය යැයි රොහින්ග්‍යා මුස්ලිම්වරු කියති. මියන්මාරයේ සිවිල් යුද්ධයක් නිර්මාණය වීමට මෙය හේතුවක් වේවි යැයි දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.
මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් සුළු ජාතිකයන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා වහා නැවැත්වීමට මැදිහත් වෙන්නැයි තමන් අවසන් වතාවට මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කීට දැනුම් දෙන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ඩුටරේට්ස් පවසා ඇත.

අවුන් සාන් සූ කී මියන්මාරටේ නිල නොවන නායිකාව යනුවෙන් හැඳින්වෙන්නේ එරට ව්‍යවස්ථා නීති රීති අනුව ඇයට ජනපති ධුරයට පත් වීමට නොහැකි නිසාය. සූ කී වෙනුවට එම ධුරයේ කටයුතු කරන්නේ ඇගේ ආධාරකරුවකු වන හිට්න් කෝව්ය. කෙසේ නමුත් රටේ සියලු කටයුතු පාලනය කරන්නේ සූ කී ය. විදෙස් ඇමැතිනිය වන්නේ ද ඇයයි.

ජගත් මහ ලේකම්වරයා මේ අයුරින් අවුන් සාන් සූ කීට මෙසේ අවසන් නිවේදනයක් නිකුත් කළේ බී.බී.සී. පුවත් සේවය සමඟ අදහස් දක්වමිනි. ‘රොහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට එරෙහිව සිදුවන අපරාධ වචනයෙන් විස්තර කරන්න බැහැ. එම ප්‍රචණ්ඩ ක්‍රියා වහා නැවැත්විය යුතුයි’ යැයි ජගත් ලේකම්වරයා අවධාරණය කර ඇත.

සූ කී එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඇයට එරෙහිවත්, මියන්මාරයට එරෙහිවත් දැඩි තීන්දු තීරණ ගැනීමට කටයුතු කරනවා යැයි ජගත් මහ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර රොහින්ග්්‍යා මුස්ලිම් වැසියන් සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදයට එම මුස්ලිම් වැසියන් අතරේම සිටින අන්තවාදී සහ ත්‍රස්තවාදී කල්ලි වගකිව යුතු බවත්, රොහින්ග්‍යා වැසියන් අසල්වැසි බංග්ලාදේශයට පලා යන්නේ එම අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා බවත් මියන්මාර හමුදාපති ජනරාල් මින් අවුන්ග් හලායිංග් පැහැදිලි කරයි.

රොහින්ග්්‍යා වැසියන් ‘අසරණ සුළු ජාතිකයන්’ පිරිසක් නොවන බවත්, ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ඔවුන් ජීවත් වන රකීන් පළාත අත්පත් කර ගැනීම බවත් මියන්මාර හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටී. රොහින්ග්‍යා මුස්ලිම්වරුන් අතරේ සිටින ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන අන්තවාදීන්ට හා ත්‍රස්තවාදීන්ට එම වැසියන් ඔවුන්ගේ සහාය ලබා දෙන බවත් ජාත්‍යන්තර ප්‍රජාවට එය නොවැටෙහෙන බවත් මියන්මාර හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

(රොයිටර්/එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS