බයිඩන් මෝදිට හලෝ කියයි



ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ජෝ බයිඩන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකතන කතාබහක් අද (18) පැවැත්විණි.

ඉන්දු ඇමෙරිකා සබඳතා තරකර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය. ජෝ බයිඩන්ට සුබ පැතීමට ද අගමැති මෝදි මෙය අවස්ථාවක් කර ගත්තේය.

ඉන්දියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය පාලනය කිරීමට ඇමෙරිකාවේ සහාය ලබා දෙන බවත් ඇමෙරිකාවේ නිෂ්පාදිත සාර්ථක යැයි තහවුරු වුණු එන්නත් ඉන්දියාවට ලබා දීම කටයුතු කරන බවත් ජෝ බයිඩන් සහතික විය.

‘කොවිඞ් 19’ කොරෝනා වයිරස ආසාදිතයන් සහ මරණ වැඩියෙන්ම වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

බැරැක් ඔබාමා ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, උප ජනාධිපති ලෙස කටයුතු කළේ ජෝ බයිඩන්ය. ඇමෙරිකන් උප ජනාධිපති ලෙස බයිඩන් ඉන්දියාවේ සංචාරය කරමින්, අග්‍රාමාත්‍ය මෝදි හමුවී තිබේ. අතීතයේ සිට පවතින එම මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීමට තමන් සූදානම් බව බයිඩන්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පවසා ඇත.

ආසියානු කලාපයට සහ ඉන්දියාවට චීනයෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් ද බයිඩන් සහ මෝදි අතරේ සාකච්ඡා පැවැත්විණි. චීනයේ ‘මැරකම්’වලට එරෙහිව ආසියානු රටවල් අතරේ එකමුතුවක් ඇති කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව බයිඩන්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට පවසා තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS