බයිඩන් කැබිනට් මණ්ඩලය නම් කරයි



ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින ජෝ බයිඩන් සිය කැබිනට් මණ්ඩලය නම් කිරිම ආරම්භ කර ඇත.

ඒ අනුව, මේ වනවිටත් ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් (විදේශ අමාත්‍ය), භාණ්ඩාගාර ලේකම් (මුදල් අමාත්‍ය) යන තනතුරුවලට මෙන්ම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ තනතුරුවලට සාමාජිකයන් පත් කිරීම සිදු කර තිබේ.

ජෝ බයිඩන්, ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස සැලකෙන ටෝනි බ්ලින්කන් ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් තනතුරටත්, ජාතික ආරක්ෂක උපදේශක ලෙස ජේක් සලිවන් සහ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ‘දේශගුණ විපර්යාස පිළිබඳ විශේෂ නියෝජිත’ ලෙසත් නම් කර තිබේ.

ඇමෙරිකා ස්වදේශ ආරක්ෂක සේවයේ (හෝම්ලන්ඩ් සෙකියුරිටි) ලේකම් ලෙස ඇලෙහන්ද්‍රෝ මයෝකස් ලේකම් ලෙස නම් කර ඇතැයි ද වාර්තා වේ. ඔහු එම තනතුරට පත්වීම ස්ථීර වුවහොත් එම ලේකම් ධුරයට පත් පළමු ලතින් සම්භවයක් ඇති සහ සංක්‍රමණික පුද්ගලයා ඔහු වනු ඇත.

සී.අයි.ඒ. ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ඇව්රිල් හෙයින්ස් නම් කර ඇති අතර ඇය එම තනතුරට පත්වුවහොත් එම තනතුරට පත්වූ පළමු කාන්තාව ඇය වනු ඇත.

ඇමෙරිකාවේ ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකාවක වන ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපති ලෙස නම් කිරිමට බයිඩන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ලෙස ආර්ථික විද්‍යාඥයකු වන ජැනට් යෙලන් පත් කරනු ඇතැයි පුවත් සේවා වාර්තා කරන අතර, ඇය එම තනතුරට පත් පළමු කාන්තාව වනු ඇත.

වොෂින්ටන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS