බන්ධනාගාරයෙන් 92 ක් පනිති



ඊසානදිග බ‍්‍රසීලයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයකට පහර දී ඊට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක්, බන්ධනාගාරයේ රැඳෙවියන් අනූ දෙදනකු මුදා ගත් බව එරට පුවත් සේවා වාර්තා කළේය.

සන්නද්ධ පිරිස බන්ධනාගාරයේ ඉදිරිපස දොරටුව පුපුරුවා විනාශ කරමින් ඊට කඩා වැදුණු බව බන්ධනාගාර බලධාරීහු පවසති. ඔවුන් වැඩි දුරටත් පවසා ඇත්තේ පුද්ගලයන් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෝටර් රථ හතරකින් පැමිණි බවය.

සන්නද්ධ පිරිස සහ බන්ධනාගාර නිලධාරීන් අතරේ දරුණු අවි ගැටුම් පැවැතිණි. අවසානයේදී බන්ධනාගාර නිලධාරීන්ට පසුබැසීමට සිදුවුණු බව ද පැවැසෙයි.

පිරිස පහරදීම කළේ රොමෙ ඕ ගොන්කාල්වේස් බන්ධනාගාරයටය. මෙහි රැඳෙවියෝ 680 ක පිරිසක් රඳවා සිටිති.

බන්ධනාගාරය පිහිටා ඇත්තේ ජෝආ ඕ පෙසා ඕ නගරයට නුදුරින් යැයි ද පැවැසෙයි. රැඳෙවියන් බලා යෑමත් සමඟ අසල්වැසි නගර, කාර්යාල, පාසල් ආදී සියල්ල වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගත්හ. ප‍්‍රාන්ත බලධාරීන්ගේ උපදෙස් පරිදි දැවැන්ත සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS