පොම්පේඕ එයි



ඉන්දීය සංචාරය අවසන් කරමින්, ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පේඕ ඊයේ ( 27) රාත්‍රියේ මෙරටට පැමිණියේය.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා කටුනායක ගුවන් තොටුපළ ළඟා වූයේ ඊයේ රාත්‍රී 7.35 ටය.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ  ආරාධනයකට අනුව දිවයිනට පැමිණෙන ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා 28 වැනිදා දක්වා රැඳී සිටිනු ඇතැයි පැවැසෙයි.

මෙම සංචාරය අතරතුරදී, පොම්පේඕ මහතා අද ( 28) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  සමඟ සහ විදේශ අමාත්‍යවරයා සමඟ නිලවශයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇතැයි ද විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

ජනාධිපතිවරයා හමුවීමෙන් පසු ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා අද (28) සවස, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී නිල සාකච්ඡා පවත්වන අතර ඉන්පසුව අමාත්‍යවරයා සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද නියමිතය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පේඕ ය.

මීට පෙර,  ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ දෙවැනි ධුර කාලය තුළදී එවකට සිටි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා වූ ජෝන් කෙරී 2015 වසරේ මැයි 03 වැනිදා නිල සංචරයක් සදහා මෙරටට පැමිණියේය.

තිලිණි ද සිල්වා


RECOMMEND POSTS