පුරවැසි පනත අභියෝගයට



බංග්ලාදේශය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය යන රටවලින් පැමිණ ඉන්දියාවේ පදිංචි වී සිටින මුස්ලිම් නොවන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට පමණක් ඉන්දියාවේ පුරවැසිභාවය ලබා දීමට නව පනත සම්බන්ධයෙන් ඉන්දියාවේ මුස්ලිම්වරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.

ආන්දෝලනයට හේතුවක් වූ මෙම නව පුරවැසි පනත සම්බන්ධයෙන් ඊට විරෝධය පළ කරමින් ඉන්දියාවේ ‘මුස්ලිම් එකමුතුව’ නමැති දේශපාලන පක්ෂය ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කර ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් රාජ්‍ය සභාවේදී සම්මත වූ නව පනතට අනුව, ඉන්දියාවේ අසල්වැසියන් වන බංග්ලාදේශයෙන්, පාකිස්තානයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් පැමිණ, 2014 වසරේ සිට ඉන්දියාවේ පදිංචි වී සිටින මුස්ලිම් නොවන වැසියන්ට පමණක් පුරවැසිභාවය හිමිවෙයි.

නව පනත් කෙටුම්පතට ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක සභාව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලයේ ද අනුමැතිය හිමිවිණි. ඒ, මීට දින කීපයකට පෙරය. නව පතන මගින් පුරවැසිභාවය හිමිවන්නේ, හින්දු, සීක්, ජෛන, බෞද්ධ සහ ක්‍රිස්තියානි වැසියන්ට පමණි. බංග්ලාදේශයෙන්, පාකිස්තානයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් පැමිණි මුස්ලිම් වැසියන්ට ඉන්දියාවේ පුරවැසිභාවය හිමි නොවන අතර ඔවුන්ට ආපසු ඔවුන්ගේ මවු රට බලා යෑමට සිදුවනු ඇත.

මෙම නව පනත් කෙටුම්පත හේතුවෙන්, ඉන්දියාවේ වෙසෙන මුස්ලිම් වැසියන් අසරණ තත්ත්වයකට ඇද වැටෙන බවත් ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. ඉන්දීය වැසියන්, නළු නිළියන්, විද්වතුන් සහ නීතිවේදීන් 700 කට වැඩි පිරිසක් මෙම පුරවැසි පනක සම්බන්ධයෙන් ඉන්දීය රජයට විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS