පුටින් ජාතිය අමතයි



රුසියානු ජනාධිපතිවරණය ලබන මාර්තු 18 වැනිදා පැවැත්වීමට නියමිත අතර, යළිත් වරක් ජනපති ධුරය අපේක්ෂාවෙන් සිටින ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජාතිය ඇමැතුවේය.

එම අවස්ථාවේදී ඔහු කරුණු කාරණා රැසක් අවධාරණය කළේය. එයින්, රුසියාවේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් පුටින් දැක්වූ අදහස් ලොව කාගේත් අවධානයට හේතුවක් විය.

ලොව ඕනෑම ස්ථානයක ඕනෑම ඉලක්කයකට පහසුවෙන් පහරදීමක් කළ හැකි විදියේ තාක්ෂණයෙන් දියුණු අති ප්‍රබල න්‍යෂ්ටික අවි තමන් සතුව ඇති බව ජනපති පුටින් පැවැසීය.

න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ රුසියානු හමුදාව සතු මිසයිල ඇමෙරිකාවේ හෝ වෙන කිසිම රටක හෝ මිසයිල නාශක පද්ධතිවලට හසු නොවන ආකාරයේ ‘අදිසි’ මිසයිල යැයි ජනපති පුටින් පැහැදිලි කළේය.

න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් පුටින්ගේ දැක්වූ අදහස් ඇමෙරිකාව කැලැඹීමට සමත් වී ඇති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. සබ්මැරීන්වලින් පමණක් නොව, නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් ද රුසියානු හමුදාව ඉතා පහසුවෙන් න්‍යෂ්ටික මිසයිල ප්‍රහාර එල්ල කළ හැකි බව ද ජනපති පුටින් වැඩිදුරටත් කියා සිටියේය.

තමා යළි ජනපති ධුරයට පත්වීමෙන් පසු වසර 6 ක් ඇතුළත රුසියාවේ දරිද්‍රතාව අඩු කරන බවත්, පරිසරය සුරැකීම වෙනුවෙන් වැඩි අවදානයක් යොමු කරන බවත් ජනාධිපති පුටින් ජාතිය අමතමින් කියා සිටියේය. යළි ජනවරමක් හිමිවියහොත්, පුටින් 2024 වසර තෙක් බලයේ සිටිනු ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS