පාකිස්තානය දින 9 ක් ලොක්ඩවුන්



'කොවිඩ් 19' ආසාදිතයන් වැඩිවීම සැලකිල්ලට ගනිමින්, දැඩි සංචරණ සීමා පනවමින්, දින 9 ක කාලයක් සඳහා පාකිස්තානය වසා දැමීමට, පාකිස්තාන රජය තීරණය කළේය.

ලබන 12 වැනිදා සහ 13 වැනිදා ඊද් අල් ෆිතාර් උත්සවයේදී ජනතාව ඒකරාශී වුවහොත්, කොරෝනා ව්‍යාප්තිය තවත් දරුණු වේවි යැයි සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගනිමින්, දින 9 ක කාලයක් රට වසා දැමීමට පාකිස්තාන රජය කටයුතු කළ බව පැවැසෙයි.

සියලු වෙළෙඳසැල් වසා දැමෙන බවත්, ඊද් අල් ෆිතාර් වෙනුවෙන් රෙදි පිළි ගැනීමට කිසිවකුටක් නිවසේවලින් බැහැර වීමට අවසර ලබා නොදෙන බවත්, සියලු දෙනා තම තමන්ගේ නිවෙස්වල රැඳී සිටිය යුතු බවත් පාකිස්තාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ලොක්ඩවුන් තහංචි පැනැවුවත් 12 සහ 13 දෙදින ආගමික කටයුතු සඳහා මුස්ලිම් පල්ලි විවෘතව තැබෙන බවත්, සෞඛ්‍ය උපදෙස් සහ නීතිරීතිවලට අනුව කටයුතු කරමින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින්, ආගමික කටයුතුවල යෙදීමට අවසර ලබා දෙන බව පාකිස්තානයේ කොරෝනා වසංගතය කළමනාකරණය වෙනුවෙන් පත් කර සිටින අමාත්‍ය අසාද් උමාර් පවසා ඇත.

මේ වනවිට පාකිස්තානයෙන් වාර්තා වන 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 8,50,000 කි. මරණ 18,600 පසු කර තිබේ. පසුගිය දින කීපයේ දිනකට මරණ 100 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වූ බව පාකිස්තාන සෞඛ්‍ය අංශ කියයි.

පාකිස්තානයේ එන්නත්කරණ කටයුතු සිදුවන නමුත් එය සිදුවන්නේ ඉතා මන්දගාමීවය.
'කෝවැක්ස්' වැඩසටහන යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හිමිවුණු 'ඇස්‍ට්‍රාසෙනකා' එන්නත් ද චීනයෙන් පරිත්‍යාගයක් ලෙස හිමිවුණු 'සයිනෝෆාම්' එන්නත් ද පාකිස්තානුවන්ට ලැබේ. මේ වනවිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් සෞදි සංචාරයක නියැලෙමින් සිටී.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ද 'කොවිඩ් 19' ආසාදිතයකු වූ අයෙකි. අග්‍රාමාත්‍යවරයා කොරෝනා ආසාදිතයකු වූයේ 'සයිනෝෆාම්' එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන දින දෙකක් ගතවෙද්දීය.

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS