පාකිස්තාන විදේශ ඇමැති ඉන්දියාවට දෙහි කපයි



ඉන්දු කාශ්මීරයට ලබා දුන් විශේෂ බලතල අහෝසි කිරීමට ඉන්දීය රජය කටයුතු කිරීම, කාශ්මීර මුස්ලිම් වැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයි පාකිස්තාන විදේශ ඇමැති ෂා මොහොමද් කුරේෂි, ඉන්දීය රජයට දොස් නගමින් පවසා ඇත.

ඉන්දීය කාශ්මීරයට අයත් වන පළාත් වන්නේ ජම්මු, කාශ්මීර් සහ ලඩාක් ය. මුස්ලිම් බහුතරයක් වාසය කරන්නේ ජම්මු සම කාශ්මීර පළාත්වලය. ඉන්දු කාශ්මීරයට, පසුගිය වසර 70 ක කාලය පුරාවට ඉන්දීය ව්‍යවස්ථාව යටතේ විශේෂ බලතල සහ ස්වයං බලතල පවරා දී තිබුණි. ඒ, ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය යටතේය. ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මෙම වගන්තිය අහෝසි කළේ ඉකුත් සතියේය. ඒ අනුව, කාශ්මීරය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය විය.

‘ඉන්දීය රජය කටයුතු කළ ආකාරය නීතිවිරෝධීයි. පාකිස්තානය පමණක් නොව, මුළු ලොවම ඉන්දියාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් හොඳ විමසිල්ලෙන් සිටිනවා’ යැයි ඉන්දියාවට දොස් නගමින් පාකිස්තාන විදේශ ඇමතිවරයා පවසා ඇත.

ඉන්දු කාශ්මීරය සම්බන්ධයෙන්, ඉන්දියාව ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට, පාකිස්තාන විදේශ ඇමැති ෂා මොහොමද් කුරේෂි පසුගියදා චීනයේ බීජීං අගනුවරට ගියේය. ඉන්දියාව ඉන්දු කාශ්මීරයට ලබා දුන් විශේෂ බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන්, චීනය ද දැඩි විරෝධයක් පළ කර ඇත. පාකිස්තානය පමණක් නොව, චීනය ද ඉන්දියාවේ අසල්වැසියන්ය. කාශ්මීර අර්බදයේදී තම විශ්වාසවන්ත මිතුරා ලෙස චීනය සැලකිය හැකි බව පාකිස්තාන විදේශ ඇමැතිවරයා පවසා ඇත.

කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ඉන්දියාවට බලපෑම් කිරීමට පාකිස්තානය සූදානම් වෙයි. චීනය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකි.

ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS