පාකිස්තාන මහ කොමසාරිස්වරයා ආපසු කැඳවයි



ඉන්දු කාශ්මීරයේ ඉන්දීය සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවේ තම මහ කොමසාරිස්වරයා වන සොහායිල් මහ්මූද් ආපසු ගෙන්වා ගැනීමට පාකිස්තාන රජය  කටයුතු කළේය.

ඉන්දීය සෙබළුන් ඉලක්ක කර ගනිමින් ඉකුත් 14 වැනිදා එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඉන්දු කාශ්මීරයේ පුල්වාමා පළාතේය. ප්‍රහාරයෙන් මියගිය ඉන්දීය සෙබළුන් ගණන 44 කි.

ප්‍රහාරය එල්ල කළේ ජායිෂ් ඊ මොහොමද් ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිය යැයි තහවුරු වී ඇත. ජායිෂ් ඊ මොහොමද් කල්ලිය ප්‍රහාරයේ වගකීම බාර ගෙන ඇතැයි ද පැවැසෙයි.

ජායිෂ් ඊ මොහොමද් ත්‍රස්ත කල්ලියට පාකිස්තාන රජයේ අනුග්‍රහය හිමිවන බව ඉන්දියාව චෝදනා කරයි. මේ බව ඇමෙරිකාව ද තහවුරු කර ඇත.

ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර, විරසයකයක් නිර්මාණය වී ඇති හෙයින්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ ඉදිරියේදී කෙසේ කටයුතු කළ යුතුයිදැයි සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඉන්දියාවේ නවදිල්ලි නුවර පාකිස්තාන මහ කොමසාරිස් සොහායිල් මහ්මූද් ආපසු පාකිස්තානයට ගෙන්වා ගැනීමට පියවර ගත් බව පාකිස්තාන විදේශ කටයුතු අමත්‍යාංශය පවසා ඇත.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS