ප්‍රාන්ත 2 ක් මෝදිගේ ජනතා පක්ෂයට



උතුරු ඉන්දියාවට අයත් නාගලන්තය, මේඝාලය සහ ත්‍රීපුර යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරුණු අතර, නාගගන්තය සහ ත්‍රීපුර ප්‍රාන්ත පහසුවෙන් ජය ගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමත් වී සිටී.

මේඝාලය ප්‍රාන්තයේ කිසිදු පක්ෂයකට බහුතර බලයක් දිනා ගැනීමට හැකියාව නොලැබුණි. මේඝාලය ප්‍රාන්තය පසුගිය දස වසරක කාලය පුරාවට ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ බළකොටුවක් ලෙස සැලකිණි.

කෙසේ නමුත් මෙවර මැතිවරණයේ දී, කොංග්‍රස් පක්ෂයට මෝදිගේ ජනතා පක්ෂයෙන් විශාල අභියෝගයක් එල්ල විය. බහුතර බලය සඳහා ආසන 30 ක් හිමි කර ගැනීමට නියමිතව තිබුණ ද කොංග්‍රස් පක්ෂයට හිමිකර ගැනීමට හැකිවූයේ ආසන 21 ක් පමණි.

ඒ අනුව, කොංග්‍රසයට ඔවුන්ගේ හවුල්කාර පක්ෂයක් සමඟ එක් වී හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවනු ඇත. භාරතීය ජවතා පක්ෂය මේඝාලය ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් ව සිටියේ ‘ජාතික ජනතා පක්ෂය’ සමඟ සන්ධානගත වෙමිනි.
ත්‍රිපුර ප්‍රාන්තසභා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ජය හිමිකර ගත්තේ අවුරුදු 20 ක් තිස්සේ පැවැති කොංග්‍රස් පක්ෂ පාලනය බිඳ දමමිණි.

මෙය භාරතීය ජනතා පක්ෂය ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ත්‍රිපුර ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂය තරග වැදුණේ ප්‍රාන්ත ස්වදේශීය වැසියන් නියෝජනය කරන ‘ස්වදේශ ජනතා පෙරමුණ’ පක්ෂය සමඟ සන්ධානගත වෙමිනි.

භාරතීය ජනතා පක්ෂයට ආසන 43 ක් දිනා ගැනීමට හැකිවිය. වසුගිය 20 වසර පුරාවට ප්‍රාන්තයේ මහ ඇමැති ලෙස කටයුතු කළේ මනීක් සර්කාර්ය. ඔහු සහ ඔහුගේ කොංග්‍රසයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 16 කි.

නාගලන්ත ප්‍රාන්තයේ බලයේ සිටින මහ ඇමැකි ටී.ආර්. සෙලියැංග් කියා සිටියේ දිගටම භාරතීය ජනතා පක්ෂය සමඟ එක්වී කටයුතු කරන බවය. ටී.ආර්. සෙලියැංග් නියෝජනය කරන්නේ ‘නාගා ජනතා පක්ෂය’ සමඟය. මොවුන් දීර්ඝ කාලයක් තිස්සේ භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධානගතව සිටී. ඉදිරියටත් එම සන්ධානය පවත්වාගෙන යන බව මහ ඇමැතිවරයා කියා සිටී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS